May 15, 2024

ජොෆ්ර් ආචර් ගැන කනගාටුදායක පුවතක්

එංගලන්තයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර් ආචර් ගැන ක්‍රිකට් ලෝලීන්ට දැනුම් දෙන්න තිබෙන්නේ කණගාටුදායක ආරංචියක්.

ඒ 26 වැනි වියේ පසුවන ආචර් හට 2021 වර්ෂයේම යළිත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න නොලැබීමේ පුවතයි.

ආබාධය නරක අතට

උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කළ ප්‍රතිකාර වලින් නිසි සුවය නොලැබීම නිසා මේ වර්ෂයේම ක්‍රිකට් ක්‍රීඩා නොකරන ලෙසයි ඔහුට වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙන්නේ.

කලක් පැවති එම ආබාධයට ප්‍රතිකාර ගෙන සුවය ලැබීමෙන් පසු ආචර් පසුගිය සති කිහිපයේ යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඔහු නියෝජනය කරන සසෙක්ස් ප්‍රාන්ත දෙවැනි පිල කණ්ඩායම වෙනුවෙන් තරඟ වලට සහභාගී වුණා.

යළි රෝගී තත්ත්වය ඉස්මතු වීම

එහෙත් යළිත් ආබාධය මතු වීම නිසයි දැන් මේ වර්ෂයේම ක්‍රිකට් ක්‍රීඩා නොකරන්න තීරණය කර තිබෙන්නේ.

මේ තීරණය නිසා මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග පහකින් යුත් එංගලන්ත - ඉන්දීය ටෙස්ට් තරගාවලියටත් , වසර අවසානයේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තවත් ටෙස්ට් තරග පහකින් සමන්විත තරගාවලියටත් ආචර්ගෙ සේවය එංගලන්ත පිලට ලැබෙන්නේ නැහැ.

ලෝක තරගාවලියටත් නැහැ

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ වර්ෂයේ ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත ලෝක 20 - 20 ක්‍රිකට් තරඟාවලියේදී ආචර්ගෙ සේවය එංගලන්ත පිලට ලබා ගැනීමට නොහැකි වීමයි.

දිගින් දිගටම මතුවන මෙම ආබාධ නිසා ආචර්ගෙ එංගලන්ත ක්‍රිකට් දිවියේ අනාගතය පිළිබඳවද අවිනිශ්චිත තත්ත්වයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

ටෙස්ට් තරග 13 කට , එක්දින තරඟ 17 කට හා 20 - 20 තරඟ 12 ක් සඳහා එංගලන්ත කණ්ඩායම ඉතා කෙටි කලක් තුළ නියෝජනය කර තිබෙන අතර ඔහු බටහිර ඉන්දීය කොදෙව් දූපතක් වන බාබඩෝස් දූපතේ උපත ලැබූ ක්‍රීඩකයෙක්.

එංගලන්තයේ වෙනුවෙන් ක්‍රීඩා කළ මෙම ජාත්‍යන්තර තරග සියල්ල දීම කඩුලු 86ක් ලබාගැනීමට ආචර් සමත් වී තිබෙනවා.

බටහිර ඉන්දිය කොදෙව්හි උප්පත්තිය

බටහිර ඉන්දිය කොදෙව් අවුරුදු 19 න් පහල කණ්ඩායම නියෝජනය කළ ආචර් හට බටහිර ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් නොලැබීමේ හේතුවෙන් එම දූපතේම උපත ලැබූ ක්‍රිස් ජෝර්ඩාන්ගේ ආරාධනය මත එංගලන්තය බලා පැමිණි අතර ඉන්පසු එංගලන්තයේ පුරවැසිකම ගෙන එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබුවා.

ආචර් එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ කැපී පෙනෙන සුපිරි ක්‍රීඩකයකුද වුණා.

අමරණීය මතක සටහන්

ආචර් එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ඉතා ස්වල්ප තරග කිහිපයේදී අමරණීය මතක සටහන් තැබීමට සමත්වූ ක්‍රීඩකයෙක්.

ආචර් කිසිම කරදරයකින් බාධාවකින් තොරව පැයට කිලෝ මීටර් 150ක වේගයෙන් පිතිකරුවන් භීතියට පත් කරවන අයුරින් පන්දු යවන ක්‍රීඩකයෙක්.

එනිසාම ආචර් ප්‍රතිවාදීන්ට එරෙහිව එංගලන්ත පිලේ  ප්‍රධානම තුරුම්පුවක් වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 08:53