April 26, 2024

දසුන්ගේ ඉල්ලීමට ශිකර් ධවාන් කළ කතාව

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලි 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනයේ දී සමත් වන්නේ පළමුවරට ඉන්දියානු කණ්ඩායමට එරෙහිව T20 තරඟාවලියක ජයග්‍රහණයද හිමි කරගනිමින්.

මෙම තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාව ඉන්දීය නායක ශිකර් ධවාන් විසින් ආමන්ත්‍රණය කරන ආකාරය දැකගත හැකි වුණා.

ශිකර් කළ මෙම කතාව පිළිබඳව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කර සිටියා.

එහිදී දසුන් පවසා සිටියේ ශිකර් යනු වසර 10කට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ක්‍රීඩා කර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු බවයි. ශිකර් තරඟයකට පෙර සුදානම් වන ආකාරය, ඔහුගේ තරඟ සැලැසුම් සහ අවස්ථා කලමණාකරණය ගැන තියෙන අත්දැකීම් ඉතාමත් වැදගත් බවද දසුන් එහිදී පවසා සිටියා.

නායකයෙකු ලෙස තමන්ටත්, කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන්ටත් මෙය ඉතාමත් වැදගත් බවද දසුන් පවසා සිටි අතර ඉන්දීය ක්‍රීඩකයන් විසින් තරඟයක් අතර හුස්ම ගන්නා ආකාරයන් පිළිබඳව ඉතාමත් ඉහළ පුහුණුවක් ලබා ඇති බවයි.

“අපි ක්‍රීඩකයන් විදිහට කොයි තරම් දුරට ඒවාට යොමුවෙලා තියෙනවාද කියලා.. ඒ කියන්නේ මට පෞද්ගලිකව අදහසක් තිබ්බා ඒ වගේ ප්ලේයර් කෙනෙක් එක්ක කතා කළොත් අපේ ප්ලේයර්ස්ලාට යම්කිසි දැනුමක් ලබාගන්න පුළුවන් අපේ අපේ ගේම් එක කොහොමද ගොඩදාගන්නේ කියලා..” ලෙසින් ද දසුන් පවසා සිටියා.

අපේ රටේ ක්‍රීඩකයන්ගෙන් වගේම වෙන රටවල ක්‍රීඩකයන් කරන දේවල්ද දැනගෙන සිටීම ඉතාමත් වැදගත් බවත්, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ආදර්ශ ලබාගන්නා බවත් දසුන් විසින් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියා. 

ඉන්දීයානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන ශිකර්ගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් අත්දැකීම් මෙන්ම, අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම එක්ක ඔහුගේ අදහස් ලබාගැනීමක් තමන් කළ බවත් එම අවස්ථාවට සම්බන්ධ වීම ගැන තමන් ඉන්දීය නායක ශිකර් ධවාන් හට ස්තූතියි වන්ත වන බවද ශ්‍රී ලංකා නායකයා පවසා සිටියා.

Rate this item
(2 votes)