May 09, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 03ක්? නවකයන් දෙදෙනෙකුටත් අවස්ථාව

ඉන්දීයාව සමඟ පළමු 20-20 තරගයේ දී සිදු වු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරි ඉනිමක් දියත් කළ චරිත් අසලංක අද (27) දිනයේ පැවැත්වීමට නියමිත දෙවැනි තරගය සඳහා සහභාගී වීම අවිනිශ්චිතව පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම භානුක රාජපක්ෂද ආබාධ තත්ත්වයකින් සිටින නිසා ඔහුටද තරඟාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සඳහන් වෙනවා.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ආදේශ කිරීමට හැකියාව තිබූ පැතුම් නිශ්ශංක හටද පුහුණු වීම් අතරතුර දී වැදුනු පන්දුවක් හේතුවෙන් ඔහුගේ අත්තැඟිල්ලකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පළමු තරගය ක්‍රීඩා කළ අකිල ධනංජය සහ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාද අද තරගයට සහභාගී නොවනු ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ ගැටලුවක් පවතින බව වාර්තා වෙනවා. පළමු තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීද දුෂ්මන්ත චමීර විසින් පවසා සිටියේ දැනට සිටින සංචිතය තුළ පිතිකරුවන්ගේ අඩුවක් ඇති බවයි.

ඒ අනුව දැනට සංචිතය තුළ සිටින පිතිකරුවෙකු ලෙස යොදාගත හැකි එකම ක්‍රීඩකයා වන්නේ සධීර සමරවික්‍රම වන අතර ඔහු අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වෙනවා.

එමෙන්ම භානුක රාජපක්ෂ සඳහා ආදේශ කළ අශේන් බණ්ඩාර වෙනුවට බොහෝ විට තුන්ඉරියව් දස්කම් දක්වන ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අකිල ධනංජයගේ ස්ථානය ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස් හෝ ඉෂාන් ජයරත්න ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකුට හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ.

සධීර සහ ධනංජය ලක්ෂාන් විස්සයි විස්ස තරඟාවලියන්ට සහභාගී වී තිබුණත් තවමත් ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ.

ඉන්දීය කණ්ඩායම ද අද තරගය සඳහා වෙනස්කම් කිහිපයක් සමඟ සහභාගී වනු ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 July 2021 11:01