May 03, 2024

පොලීසියෙන් වැඩ අරඹා ජාත්‍යන්තරයට ගිය නෙල්කා තවත් කඩයිමකට

මෙම වසරේ පැවැත්වීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකා පොලීසියේ සාමාජිකාවක් තෝරාගෙන තිබෙනවා.

ඇය කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක්.

ටී. නෙල්කා ශිරෝමාලා නමැති මෙම නිලධාරිණිය පළමු වරට ශ්‍රී ලංකා කාන්තාවන් සඳහා වු බොක්සිං තරග තීරක වශයෙන් සමත්ව ඇත්තේ 2009 වසරේ දී.

පසුව ඇය 2011 වසරේ දී පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක් වශයෙන් උසස්වීම් ලබා ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාස ගතවී ඇත්තේ ද ඇය යි.

2011 වසරේ දී ඇය එලෙස ජාත්‍යන්තර තරගයක් පළමු වරට විනිශ්චය කර තිබෙනවා.

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යපනය ලබා ඇති ඇය ශ්‍රී ලංකා පොලීසියට එක් ව ඇත්තේ 1997 වර්ෂයේ දී.

ඒ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් වශයෙන්.

2001 වර්ෂයේ පොලිස් ක්‍රීඩා සාමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව බවට පත් ව ඇත්තේ ද ඇය යි.

එමෙන්ම ඇය අඛණ්ඩව වසර 05 ක් දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනාගෙන ඇති බව සඳහන්.

ඇය ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වන පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරිය ද වනවා.

2017 වර්ෂයේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානය ඇය විසින් හිමිකරගෙන ඇති අතර එය ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක් ලබාගත් ප්‍රථම අවස්ථාව ද වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඇයව හඳුන්වා ඇත්තේ බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලය ලබා ඇති දක්ෂ නිලධාරිනියක් ලෙස යි.

Rate this item
(5 votes)
Last modified on Monday, 19 July 2021 11:09