May 03, 2024

රාජපක්ෂවරයෙකුත් එරෙහි වෙයි - පොලිස් ඇමති හිරවෙයි

ආණ්ඩුවට ආණ්ඩුවෙන්ම චෝදනා

බත්තරමුල්ලේ පැවැති උද්ඝෝෂණය අතරතුර ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ දී පොලීසිය ක්‍රියා කළ ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

උද්ඝෝෂණ කිරීමට ජනතාවට අයිතියක් ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් පවතින බවත්, එවැනි පසුබිමක දී උද්ඝෝෂණකරුවන් ද වගකීමෙන් හැසිරිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

ඒ අනුව තමන් උද්ඝෝෂකයින් සහ පොලීසිය යන දෙපාර්ශවයේ ම ක්‍රියා කලාපය අනුමත නොකරන බව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

තමන් එදා සිටම හරි දෙයට හරි කියන බවත්, අනුමත නොකරන හැසිරීම්වල දී එය අනුමත කළ නොහැකි බව පවසන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

උද්ඝෝෂණ තහනම බොරුවක්?

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා දිගින් දිගටම පවසන්නේ උද්ඝෝෂණ ආදිය පැවැත්වීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහනම් කර ඇති බවයි.

එමෙන්ම උද්ඝෝෂණවලට සහභාගි වන්නන් අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ව නිරෝදානයනට ලක් කිරීම කිසිසේත් නතර නොකරන බවද ඔහු සඳහන් කළා.

එහෙත් උද්ඝෝෂණ තහනම් කර ඇති බව හෝ, තහනම් කර ඇති බැවින් ඒවා නොකළ යුතු බවට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා නොපැවසීම විශේෂයෙන් කැපී පෙනුණා.

ඔහු ප්‍රකාශ කළේ "වසංගතයක් තියෙන වෙලාවක උද්ඝෝෂණකරුවනුත් වගකීමෙන් හැසිරිය යුතුයි" යන්න පමණයි.

නිසි සෞඛ්‍ය රීති පිලිපදිමින් උද්ඝෝෂණ පැවැත්විය හැකි බව නාමල් රාජපක්ෂ මහතාගේ එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ දැයි සැකයක් මතුවනවා.

එහෙම නීතියක් නෑ!

පොලීසිය භාර අමාත්‍යවරයා මෙලෙස පවසන පසුබිමක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ උද්ඝෝෂකයන් නිරෝදායනයට ලක් කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව යි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එවැනි නියෝගයක් නිකුත් කර නොමැති පසුබිමක පොලීසිය මෙලෙස පිරිසක් නිරෝදායනයට රැගෙන ගියේ කෙසේ ද යනුවෙන් ඔහු ප්‍රශ්ණ කරනවා.

නිරෝදායන ක්‍රියාවලිය ද අවභාවිත කරන්නේ යැයි ජනතාව තුළ සැකයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී කොවිඩ් 19 පාලනයට ද අහිතකර බලපෑම් එල්ල කළ හැති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

නීතිය හැදෙන්නේ වීරසේකරගෙ ඔලුවේ ද?

මෙවන් පසුබිමක දී ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ නීතිය යනු පොලීසිය භාර අමාත්‍යවරයාගේ ඔළුවේ පැළවෙන මනස්ගාත නොවන බව යි.

නීතිය යනු පාර්ලිමේන්තුව තුළින් සම්මත කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානට ඇතුළත් කර ඇති අණ පනත් බවත්, එම නිසා නීතියට යටත්ව කුමක් සිදුවන්නේ දැයි බලා සිටින බවත් ඔහු පවසනවා.

ජෝසෆ් ස්ටාලින් ඇතුළු උද්ඝෝෂකයින් පිරිස නිරෝදායනයට රැගෙන යාමේ දී ඔවුන්ගේ මානව හිමිකම් කඩ වී ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

එම අවස්ථාවට සහභාගී වූ නීතීඥ සුනිල් වටගල මහසා පවසා සිටියේ අධිකරණයෙන් ඇප හිමිවූ පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් නිරෝදායනයට රැගෙන යාමට පොලීසියට අයිතියක් නොමැති බවයි.

ඒ අයුරින් බලන විට නිරෝදායනය හරහා දින 14ක දඬුවමක් ලබා දී ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

ස්පා යන එක හොඳද?

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් ඉදිරිපත් කළා.

 

පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහි දී වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබෙනවා.

නිරෝදායන මාර්ගෝපදේශන උපයෝගීකරගෙන පොලීසිය සාමකාමී උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට කටයුතු කරන බවත්, ඒ හරහා උද්ඝෝෂණකරුවන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අදාළ පෙත්සම්වල දැක්වෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ චක්‍රලේඛවලට පටහැනිව පොලීසිය කටයුතු කර ඇති බවයි.

ස්පා, බාර් සහ හෝටල් වැනි ස්ථාන මේවන විට විවෘත කර ඇති පසුබිමක ජනතාවට සෞඛ්‍ය නීති පිළිපදිමින් උද්ඝෝෂණය කිරීමේ අයිතිය නැති කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

එම පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද සඳහන් කළේ පොලීසිය සිටින්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට නොව මෙරට ජනතාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිිරීමට බව යි.

Rate this item
(3 votes)
Last modified on Saturday, 10 July 2021 07:46