May 02, 2024

ටෝකියෝ ඔලිම්පික් සංවිධායකවරුන්ට වැලේ වැල් නැති වන යෝජනාවක්

වසරක ප්‍රමාදයකින් පසු ජපානයේ පැවැත්වීමට නියමිත "ලෝක ක්‍රීඩා මංගල්‍යය" වන ටෝකියෝ ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමේ සූදානමක් තිබෙන බවයි එරට "අසානි" නැමැති පුවත්පත වාර්තා කරන්නේ.

2020 වසරේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ වසර දක්වා කල් ගිය අතර මේ වන විට ජපානය වසංගත තත්ත්වය මුල්කොටගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ආසාදිතයින් සංඛ්‍යාව ඉහලට

7 වැනි බදාදා ආසාදිතයින් සංඛ්‍යාව 920 දක්වා ඉහළ යාමත් සමග ටෝකියෝහි හදිසි තත්වයක් පනවා තිබෙනවා.

ජපානයේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා එම පුවත්පතට පවසා තිබෙන්නේ පනවා ඇති හදිසි තත්ත්වය ජූලි 12 සිට අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

සංවිධායකයින්ට අධික පාඩුවක්

මේ වන විටත් ඔලිම්පික් උළෙල වසරකින් කල්යාමත් ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා අධික මුදල් ප්‍රමාණයක් වියදම් වී තිබීමත් යන කරුණු මත ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වුවහොත් විශාල ආර්ථික ප්‍රශ්න රැසකට එහි සංවිධායකයින්ට මුහුණ දීමට සිදුවන බවද එම පුවත්පතේ සඳහන්.

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් දස දහස් ගණනක් පැමිණීම හේතුවෙන් නව ආසාදන රැල්ලක් ජපානය තුළ ඇති වීමට තුඩු දෙනු ඇතැයි විශේෂඥයන් පවසන බව සඳහන් කරන එම පුවත්පත ඊයේ (8) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ටෝකියෝ නුවරට පැමිණ සිටින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන බවයි අවධාරණය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 23:32