May 03, 2024

ඔබ දන්නවාද? ජපානය මෙවර ඔලිම්පික් ශූරයන්ට දෙන්න යන්නේ කසළවලින් සෑදූ පදක්කම් බව

මළල ක්‍රීඩකයෙකුට සිය ජීවිතය තුළ ලබාගත හැකි වටිනාම දේ ලෙස ඔලිම්පික් පදක්කම හඳුන්වා දිය හැකි අතර රන්, රිදී සහ ලෝකඩවලින් සෑදූ මෙම පදක්කම් ක්‍රීඩක ක්‍රීඩිකාවකට ලැබිය හැකි විශාලම වටිනාකම බවට සඳහන් කළ කිරීමට හැකිය.

නමුත් මෙවර ජපානය විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ලබාදීමට යන පදක්කම් පිටුපස වෙනස් වූ කතාවක් තිබේ. ඒ එම පදක්කම් නිර්මාණය කර ඇති ආකාරය හේතුවෙනි.

ජපානය සෑම විටම නව ආකාරයෙන් සිතන රටක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලයි. ඒ නව ක්‍රමයේ සිතීම ඔවුන් මෙවර ඔලිම්පික් පදක්කම් නිර්මාණය කිරීම සඳහා ද යොදාගෙන තිබුණි.

ඒ අනුව ජපානය විසින් මෙවර නිෂ්පාදනය කර ඇති ඔලිම්පික් පදක්කම් සියල්ලම ඉවතලන ඉලෙක්ට්‍රෝනික උපකරණ මඟින් ගනු ලබන ලෝහවලින් නිර්මාණය කරන ලද පදක්කම් වේ. 

එය සරළවම සඳහන් කළහොත් ඉලෙක්ට්‍රෝනික උපකරණ කසළවලින් සාදන ලද පදක්කම් ලෙස සඳහන් කළ හැකිය.

ජපානය විසින් 2017 වසරේ අප්‍රේල් මාසයේ දී එරට ජනතාව ඉවතලන ඉලෙක්ට්‍රෝනික කසළ රැස් කිරීම ආරම්භ කළ අතර එය 2019 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කළේය. 

පදක්කම් 5000ක් නිර්මාණය කිරීම සඳහා ජපානය විසින් මෙලෙස ජනතාවගෙන් ඉවතලන ඉලෙක්ට්‍රෝනික කසළ එකතු කළ අතර ඒ අනුව රන්, රිදී ලෝකඩ ඇතුළු සියලු පදක්කම් නිර්මාණය කිරීම සඳහා 100%ක් අමුද්‍රව්‍ය සපයා ගෙන තිබුණේ ජනතාව විසින් ලබාදුන් ඉලෙක්ට්‍රෝනික උපකරණ හරහාය.

ඒ අනුව මෙලෙස එකතු කරගත් ඉලෙක්ට්‍රෝනික කසළ ප්‍රතිචක්‍රීකරණයට ලක් කර ඒවායේ ඇති ලෝහ ලබාගෙන මෙලෙස පදක්කම් නිර්මාණය කර තිබුණු අතර 2019 වසරේ අග පමණ වන විට එම පදක්කම්වල නිර්මාණයන් ප්‍රසිද්ධිය පත් කරනු ලැබුවේය.

ඒ අනුව මෙවර ඔලිම්පික් ශූරයන්ට ලැබෙන පදක්කම තවත් එක් පදක්කමක් පමණක් නොවනු ඇති අතර එය ජපන් වැසියන්ගේ පරිත්‍යාගයක් ලෙස එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හිමිවනු ඇත.

පසුගිය 2020 වසරේ දී ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් එය මෙම වසර දක්වා කල් දැමුණි.

ඉලෙක්ට්‍රෝනික කසළවලින් නිර්මාණය කළ පදක්කම් පහතින්,

Rate this item
(0 votes)