May 13, 2024

එංගලන්ත කණ්ඩායමට වැඩ වරදියි - ශ්‍රී ලංකා කණ්ඩායමටත් රතු එළියක්

එංගලන්ත එක්දින කණ්ඩායම සම්පුර්ණයෙන්ම හුදකලා කර ස්වයං නිරෝධානයට ලක් කිරීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය තීරණය කරලා.

පසුගිය 04 වැනිදා නිමාවට පත් වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වුණු අවසන් එක්දින තරඟයෙන් පසුදිනයේ එනම් ඊයේ (05) දිනයේ දී බ්‍රිස්ටල් හී පැවැති පි.සී.ආර් පරික්ෂණයෙන් පසුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.

එංගලන්ත එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ කලමණාකාරීත්වයේ 07 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බවට තහවුරු වී තිබෙනවා.

එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට දින 02ක් තිබියදී මෙලෙස ක්‍රීඩකයන් වෛරසයට ගොදුරුව ඇති බවයි සඳහන් වන්නේ.

එංගලන්තයේ මහජන සෞඛ්‍ය ඒකකය, වේල්ස් හී මහජන සෞඛ්‍ය ඒකකය සහ බ්‍රිස්ටල් ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය විසින් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන වසංගත රෝග පාලන ක්‍රමවේදයන්ට යටත්ව සියලුම ක්‍රීඩකයන්ව ජූලි 04 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බවයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසා තිබුණේ.

එමෙන්ම මෙම කාලය තුළදී ඔවුන් පිළිබඳව විශේෂ නිරීක්ෂණයකට ලක්කරන බවත් එම මණ්ඩලය පවසා තිබෙනවා.

ඉතිරි ක්‍රීඩකයන් සියලු දෙනාවද මෙම ආසාදිත ක්‍රීඩකයන්ගේ ආශ්‍රිතයන් ලෙස නම් කර ඇති අතර ඔවුන්ව ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන්ටද මින් බලපෑමක් ඇතිව තිබේදැයි මතයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. 

මෙරට ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කර සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ ආශ්‍රිතයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ද සිටිය හැකිද යන්නයි. 

ක්‍රිකට් ලෝලීන්ගේ එම ගැටලුව සම්බන්ධව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Rate this item
(1 Vote)