May 12, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයක? දෙවන පෙළක් නම් කිරීමේ සුදානමක්

ඉන්දියානු ක්‍රිකට් පළමු පෙළ කණ්ඩායම එංගලන්තයේ තරඟාවලියක් සඳහා සහභාගී වී ඇති නිසා ශ්‍රී ලංකාව සමඟ තරඟාවලියට මුහුණ දීමට රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ ශිකර් ධවාන්ගේ නායකත්වය යටතේ දෙවන පෙළ කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ පුහුණු වීම් ආරම්භ කර තිබෙනවා.

බොහෝ දෙනෙකු මෙම ඉන්දීය කණ්ඩායම පිළිබඳව විවිධ අදහස් දක්වමින් සිටින අතර හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ  දෙවන පෙළ කණ්ඩායමක් ඒවා ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට ලක් කර තිබෙනවා කියලයි.

නමුත් ක්‍රිකට් ආයතනය විසින් පවසා සිටියේ එම කණ්ඩායම දෙවන පෙළක් නොවන බවත් ඉන්දියාව තුළ සිටින කෙටි පන්දුවාර තරඟාවලි රටාවේ  ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බවයි.

එංගලන්ත සංචාරයට මෙන්ම ඉන්දියානු තරඟාවලිය සඳහා ද මේ වනවිට අර්බුදයක් ගොඩ නැගෙමින් ඇති බව සඳහන් වෙනවා. ඒ ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර නොමැති වීම මතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරඟ සංචාරය සඳහා මෙරටින් පිටත්ව ගියේ කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමකින් තොරව සහ එම අර්බුදයට කිසිදු විසඳුමක් නොමැතිවයි.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණිය පසුව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරයිද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකළ කිසිදු ක්‍රීඩකයෙකු ඉන්දියානු තරඟාවලිය සඳහා පුහුණු වීම් කරන ජෛව ආරක්ෂණ බුබුළට මෙතෙක් ඇතුළත් කරගෙන නැහැ.

මේ අතර Daily FT පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ක්‍රීඩකයන් විසින් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් නොකළහොත් දැනට ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයන් 39 දෙනාගෙන් ඉන්දීයානු තරඟාවලිය සඳහා කණ්ඩායමක් නම් කිරීමට සුදානම් බවයි. මෙම 39 දෙනා අතරට එංගලන්ත තරඟ සංචාරය සඳහා ගිය ක්‍රීඩකයන් ඇතුළත් නොවන බවද වාර්තා වෙනවා. 

මෙතෙක් ඉන්දියානු තරඟාවලියට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැති අතර ඊයේ (04) දිනයේ නිමාවට පත්වූ එංගලන්ත සංචාරයෙන් පසුව එම තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ ජාතික කණ්ඩායමේ සහ ජාතික ක්‍රිකට් සංචිතය තුළ සිටින ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකළහොත් මෙතෙක් තරඟාවලි තුළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් නොමැති දෙවන පෙළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව සමඟ තරඟාවලියට එකතු වීමට නියමිතයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 05 July 2021 10:32