April 28, 2024

කුසල්ලා දෙන්නම ඉවතට - කණ්ඩායමේ නව නායකයින් මෙන්න

ජෛව ආරක්ෂණ බුබුළේ නීතිය කඩමින් එංගලන්ත සංචාරය අතර ඩර්හැම් නගරයේ විදී අතර ඇවිදීමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස් හට උප නායකත්වය අහිමි වනු ඇති බවට මීට පෙර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ උප නායකත්වය නවක ක්‍රීඩික චරිත අසලංක වෙත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 

චරිත් විසින් ඉන්දියානු සංචාරයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනු ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරා වෙනුවට නව නායකයෙකු පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර දන්වා තිබුණේ 2023 ලෝක කුසලානය ඉලක්ක ගත කරගෙන ශක්තිමත් කණ්ඩායමක් සහ නායකත්වයක් සෑදීමේ අරමුණෙන් කටයුතු කරන බවයි. 

කුසල් ජනිත් පෙරේරා හට සිය නායකත්වය පෙන්වීම සඳහා තරඟාවලි 02ක් ලබාදෙන බවට ක්‍රිකට් ආයතනය පවසා සිටි අතර එම තරඟාවලි දෙක තුළ ඔහුව අධීක්ෂණය කරන බවද සඳහන් කර සිටියා.

ඒ අනුව බංග්ලාදේශ සහ එංගලන්ත සංචාරයන් දෙකම ලැබුණත් ඔහුට සාර්ථක වීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අනුව කුසල් ජනිත් හටද සිය නායකත්වය අහිමි වී යනු ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායකත්වය මෙවර හිමි වි තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර පවා ගෞරවයක් හිමි කරගෙන තියෙන ඩි.ඩි.එස් හෙවත් ධනංජය ද සිල්වා හටයි.

ඔහු විසින් ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති බවටත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Rate this item
(6 votes)
Last modified on Sunday, 04 July 2021 11:33