May 01, 2024

ප්‍රධාන කණ්ඩායම් දෙකක් LPL තරඟාවලියෙන් ඉවත් වෙයි

කොලොම්බෝ කින්ග්ස් (Colombo Kings) සහ දඹුල්ල වයිකින්ග්ස් (Dambulla Viiking) යන කණ්ඩායම් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම කණ්ඩායමේ දෙකේ හිමිකරුවන් විසින් තරඟාවලිය සමඟ පවතින ඔවුන්ගේ ගිවිසුම් අවසන් කර ඇති බැවින් මෙලෙස එම කණ්ඩායම් දෙකම මෙවර තරඟාවලියෙන් ඉවත් වන බවයි සඳහන් වෙන්නේ. 

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් මෙම කණ්ඩායම් දෙක ඉවත් වුවත් කිසිම අවස්ථාවක තරගයේ සැලැසුම් වෙනස් නොකරන බවත් ඒ සඳහා වෙනත් කණ්ඩායම් දෙකක් සහභාගී වීමට නියමිත බවත් ලංකා ප්‍රිමියර් ලීග් බලධාරීන් විසින් CricInfo ක්‍රීඩා මාධ්‍ය ජාලය වෙත පවසා තිබෙනවා.

එහිදී තරඟාවලිය සැලැසුම් කර ඇති පරිදීම ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රවීන් වික්‍රමරත්න මහතා විසින් CricInfo වෙබ් අඩවියට වැඩිදුරටත් පවසා තිබුණේ නව කණ්ඩායම් දෙකක් සඳහා මේ වන විට හිමිකරුවන් ලැබී ඇති බවත්, ඔවුන් එම කණ්ඩායම් ලබා ගැනීම සඳහා සුදුසු යන්න බැලීම සඳහා ඔවුන් තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත යවා ඇති බවත් පවසා තිබුණා.

එම ක්‍රියාවලිය අවසන් වනතුරු හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව හෙළි කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වය යටතේ පසුගිය තරඟාවලිය සඳහා සහභාගී වූ අතර කොලොම්බූ කින්ග්ස් කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ පසුගිය තරඟාවලිය සඳහා එක්වුණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 23:44