May 18, 2024

ශානකගෙන් අර්ධ ශතකයක් - ශ්‍රී ලංකා ඉනිම අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අයත් පළමු 20 විස්ස ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

කඩුළු 07ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා ගත් ලකුණු ගණන 129ක්.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 130ක පහසු ඉලක්කයක් හිමි වී තිබෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි අසීරු අවස්ථාවකට පත් වූයේ ඉතා අඩු ලකුණු ගණනකට කෙටි කලක් තුළ කඩුළු බිඳ වැටීම හේතුවෙන්.

පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාම දැවී ගිය අතර ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියා.

ඔහු ලබා සිටි ලකුණු ගණන 19ක්.

ධනුෂ්කගේ දැවීයාමෙන් අනතුරුව උපනායක කුසල් මෙන්ඩිස් පිටියට පිවිසුණත්, සුපුරුදු ලෙසින්ම අඩු ලකුණු ගණනකට දැවී යාමට ඔහුට සිදු වුණා.

මෙන්ඩිස් ලැබූයේ ලකුණු 09ක් පමණයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා ලකුණු 03කට දැවී ගියා.

නායක කුසල් පෙරේරා දැවී ගියේ ලකුණු 30කට යි.

වනිඳු හසරංගට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 05ක් පමණයි.

පිතිකරුවන් මෙලෙස අඩු ලකුණු ගණනකට දැවී යද්දී ශ්‍රී ලංකාව වැටී සිටි තැනින් මඳක් හෝ ගොඩ ගැනීමට දසුන් ශානක සමත් වුණා.

ඉසුරු උදාන නොදැවී ලකුණූ 06ක් ලබාගත් අතර දසුන් ශානක වේගවත් පහරවල්වලට යොමු වෙමින් අර්ධ ශතකයක් ද ලබාගත්තා.

ඉනිමේ අවසන් පන්දුවේ දී 07 වැනි කඩුල්ල ලෙස ශානක දැවී ගියේ ලකුණු 50ක් ලබා සිටියදී.

එංගලන්ත ඉනිමේ පිළිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ඇරඹීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 00:50