May 10, 2024

උණුසුම් සාකච්ඡාව අවසන් - ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ අවසන් තීරණය මෙන්න

විනිවිදභාවයේ ගැටළු ඇති බව පවසමින් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මාධ්‍යයේ පවා අවධානයට ලක් වුණු පුවතක් බවට පසුගිය දින කිහිපයේම පත්ව තිබුණා.

මෙවන් පසුබිමක ක්‍රීඩකයින් තීරණය කර තිබුණේ කිසිදු කොන්ත්‍රාත්තුවක් නොමැතිව එංගලන්ත සංචාරය බලා පිටත්ව යාමට යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට හෝරා කිහිපයක් ඉතිරිව තිබිය දී අද (07) දින ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

මෙහි දී අවධානය යොමු කෙරුණේ කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටළුව පිළිබඳවයි.

සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තමන් හට ඇත්තේ මුදල් පිළිබඳ ගැටළුවක් නොව, විනිවිදභාවය පිළිබඳ ගැටළුවක් බවයි.

එහි දී ක්‍රිකට් බලධාරීන් දැඩිව ප්‍රකාශ කොට ඇත්තේ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට නොහැකි ක්‍රීඩකයින් මේවන විට ජෛව ආරක්ෂණ බුබුළකට යටත්ව නවාතැන් ගෙන සිටින කොළඹ හෝටලයෙන් පිටව යන ලෙසට යි.

එමෙන්ම එලෙස කොන්ත්‍රාත්තුව අත්සන් නොතබන ක්‍රීඩකයින් සඳහා වසර 03ක තරග තහනමක් පනවන බවටයි බලධාරීන් අවධාරණය කර ඇත්තේ.

එහි දී ද දැඩි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කෙසේ වෙතත් පසුව යළිත් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතර සාකච්ඡා වටයක් සිදු වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස විනිවිදභාවය පිළිබඳ වගන්තියක් කොන්ත්‍රාත්තුව තුළට ඇතුළු කිරීමට බලධාරීන් එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව හෙට (08) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය කරා පිටත්ව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 June 2021 20:11