May 15, 2024

අර්ජූනව අතීතයට ගෙන ප්‍රවීන්ගේ පන්දුව : අර්ජූන ප්‍රවීන් ගැන වසර 10කට පෙර කියූ අනාවැකිය ඇත්ත වූ හැටි

ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවතම සොයා ගැනීම මේ වන විට ලෝකයේ බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගත් දඟ පන්දු යවන්නා ලෙස සඳහන් කළ හැකිය.

සිය පළමු තරඟයෙන් වාර්තා පිට වාර්තා තැබූ ප්‍රවීන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හොඳම දඟපන්දු යවන්නන් 50 දෙනා අතර තම නමද සටහන් කර ගැනීමට සමත් වී තිබේ.

ප්‍රවීන්ගේ මෙම ජයග්‍රාහී මාවත දුටු පළමු පුද්ගලයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හී නොමැකෙන නාමයක් වන 96 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ද සිටියි. ඔහු විසින් ප්‍රවීන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ කියූ අනාවැකියක් අද සත්‍යයක් වී ඇත්තේ කිසිවෙකුත් නොසිතු අයුරිනි.

මීට වසර 10කට පමණ පෙර කළුතර දිස්ත්‍රික්කයේ සිරි කුරුස විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පුහුණු සැසියක් පවත්වා තිබුණි. එකළ අර්ජුන රණතුංග මහතා කළුතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටි අතර ඔහු මෙම පුහුණු සැසියටද සහභාගී විය.

1986 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ ද, සිරි කුරුස විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුද වන සුනිල් සිල්වා මහතා විසින් එම සිදුවීම පිළිබඳව සිය මතකය පුවත්පතක් සමඟ පවසා තිබුණේ මෙලෙසිනි.

“මීට වසර 10කට පෙර අපේ කළුතර සිරි කුරුස විද්‍යාලය පාසලේ සිටින සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුර්ණ දින පුහුණු කඳවුරක් කරන්න අවශ්‍ය වුණා. අර්ජුන ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් අපි ඔහුගෙන් ඇහුවා ඇවිත් අපිට උදව් කරන්න පුළුවන්ද කියලා. ඔහු එයට ඉතාමත් කැමැත්තෙන් එකඟ වුණා..” යනුවෙන් සුනිල් සිල්ව මහතා පැවසීය.

එහිදී සුනිල් සිල්වා මහතා සිය මතකය තවත් අවදි කරමින් පවසා තිබුණේ “මට මතකයි ප්‍රවීන් එයාගේ පළමු පන්දුව අර්ජුන වෙත යැව්වා. ඊට පස්සේ ඊළඟ පන්දු යවන්නා ආවාත් අර්ජුන ඔහුව නතර කර ප්‍රවීන් සමඟ වචන කිහිපයක් කතා කළා.. පස්සේ ප්‍රවීන් තව පන්දු කිහිපයක් යැව්වා..” යනුවෙනි.

පසුව අර්ජුන රණතුංග තමන් වෙතට ආ බවත් පැමිණ “සුනිල්, මට මේ ළමයාගෙන් අජිත් ද සිල්වාවත් ටිකක් දකිනවා..” ලෙස පැවසූ බවත් සුනිල් සිල්වා මහතා සඳහන් කළාය.

අජිත් ද සිල්වා යනු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ද වන අතර ඔහු වමතින් ඕතඩොක්ස් දඟ පන්දු යවන්නෙකු ද විය. 1982 දී දකුණු අප්‍රිකාවට තහනම පනවා ඇති අවස්ථාවක එරට තරඟයකට ගිය කණ්ඩායමේ සාමාජිකයෙකු ද වූ අතර එම හේතුව නිසාම ඔහුගේ තරඟ වසර 25කට තහනම් විය.

මෙම පුහුණු සැසියෙන් පසුව අර්ජුන රණතුංග මහතා විසින් සිරි කුරුස විද්‍යාලයේ ප්‍රධාන දේවගැතිවරයා වන පූජ්‍ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන් හමුව ප්‍රවීන් ජයවික්‍රම ගැන කතාබහ කර ඇති අතර එහිදී අර්ජුන විසින් පවසා ඇත්තේ “පියතුමනි මේ ළමයාව බලාගන්න, ඔහු විශේෂ දක්ෂයෙක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන බවට කිසිම සැකයක් නැහැ..” යනුවෙන් පවසා තිබේ.

පසුව අර්ජුන විසින් එම ප්‍රදේශයේ ක්‍රීඩා පුහුණු සැසි පවත්වා තිබුණු අතර ප්‍රවීන් හටද එම වැඩසටහනවලට සහභාගී වන ලෙස අර්ජුන ආරාධනා කර තිබුණි.

Rate this item
(0 votes)