April 27, 2024

මරණය බලා සිටි ටුටූ හිමිපාණන් සිය 90වැනි නත්තල සමරා ලොවට සමුදෙයි

December 26, 2021

විශ්‍රාමික අගරදගුරු ඩෙස්මන් ටුටූ (Desmond Tutu) හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව දකුණු අප්‍රිකාව නිවේදනය කරනවා.

වර්ණභේදවාදයට එරෙහි ප්‍රතිමූර්තියක් ලෙස යි උන්වහන්සේ සැළකෙන්නේ.

ස්වර්ගස්ථවන විට උන්වහන්සේගේ වයස අවුරුදු 90ක්ව පැවතුණා.

ටුටූ හිමිපාණන් සිය 90වැනි උපන් දිනය සැමරුවේ පසුගිය ඔක්තෝබර් 07 වැනි දා යි.

කළු-සුදු භේදයට එරෙහි වීරයෙක්

ලෝකප්‍රකට මානව ප්‍රේමියෙකු වූ ඩෙස්මන් ටුටූ හිමිපාණන්, වර්ණභේදවාදයට එරෙහිව අරගල කළ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සමකාලීනයෙකු වනවා.

උන්වහන්සේ දකුණු අප්‍රිකාවේ සුළුතර සුදු ජාතික පාලනය විසින් ස්වදේශික කළු ජාතිකයින් හට වර්ණය මත පදනම්ව වෙනස්කම් කොට සැළකීමේ ප්‍රතිපත්ති අවසන් කිරීමට පෙරමුණ ගත් අයෙක්.

ඒ වෙනුවෙන් ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් 1984 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවා.

එමෙන්ම උන්වහන්සේට නිදහස උදෙසා වූ ජනාධිපති පදක්කම ලබා දීමට අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමා කටයුතු කළා.

අමෙරිකානු ජාතිකයෙකු ද නොවූ උන්වහන්සේ එම පදක්කමෙන් පිදුම් ලැබුවේ 2009 වසරේ දී යි.

මැරෙන්න කැමැත්තෙන් සිටියා

දිවියෙහි අවසන් කාලයේ විවිධ අසනීප තත්ත්ව වලින් පීඩා විඳි උන්වහන්සේ 2016 වසරේ දී සිය 85 වැනි උපන්දිනය දා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පවසා සිටියේ සිය කැමැත්තෙන් ජීවිතය අවසන් කර ගැනීමේ නීතිමය අවසරය තමන්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටින බව යි.

තමන්වහන්සේට තව දුරටත් ජීවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද එහි දී උන්වහන්සේ පවසා සිටියා.

“කිසියම් කෙනෙක් දරාගත නොහැකි වේදනාවකින් පසුවෙනවා නම්, ඔහු හෝ ඇය තම ජීවිතයේ අවසාන කාලයට පැමිණ සිටිනවා නම්, සිය ජීවිතය අවසන් කරගැනීමේ තෝරා ගැනීම ඔවුන්ට ලබා දිය යුතුයි” යනුවෙන් උන්වහන්සේ එහි දී පවසා තිබුණා.

ඉටු නොවූ බලාපොරොත්තුව

මහළු පුද්ගලයින්ට සහ වේදනාකාරී රෝගාබාධවලින් පීඩා විඳින පුද්ගලයින්ට ස්වකැමැත්තෙන් (වෛද්‍යවරයෙකුගේ සහය ඇතිව) ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතැම් රටවල්වල ඇති නමුත් ඩෙස්මන් ටුටූ හිමිපාණන් වාසය කළ දකුණු අප්‍රිකාව තුළ එවැනි නීතිමය තත්ත්වයක් නැහැ.

කෙසේ වෙතත් 2015 වසරේ දී දරුණු රෝගාබාධයකින් පෙලුණු තැනැත්තෙකුට විශේෂ නඩු තීන්දුවක් මගින් එම අවසරය ලබා දීමට දකුණු අප්‍රිකානු අධිකරණය තීරණය කර තිබුණා.

එම නඩු තීන්දුවෙන් පසුවයි ටුටූ හිමිපාණන් ඉහත අදහස් පළ කොට තිබුණේ.

කෙසේ වෙතත් සිය කැමැත්ත පරිදි ජීවිතය අවසන් කරගැනීමේ අවස්ථාව උන්වහන්සේට නොලැබුණු අතර අද (26) දිනයේ උන්වහන්සේ දිවියට සමු දුන්නේ ස්වභාවික මරණයක් අත්කර ගනිමින්.

අසමසම මිනිසෙක්

උන්වහන්සේගේ අභාවය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ඩෙස්මන් ටුටූ හිමිපාණන් කැපී පෙනෙන අධ්‍යාත්මික නායකයෙක්, වර්ණභේදවාදයට එරෙහි සටන්කරුවෙකු බව යි.

එමෙන්ම උන්වහන්සේ ගෝලීය මානව හිමිකම් ක්‍රියාකරුවෙකු ලෙස හැඳින්විය හැකි බව ද ජනාධිපතිවරයා පසනවා.

රමපෝසා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම දේශප්‍රේමියෙකු වූ උන්වහන්සේට සමාන කළ හැකි කිසිවෙකු නොමැති බව යි.

බයිබලයේ දැක්මට අරුතක් දෙමින් කටයුතු කළ උන්වහන්සේ අසමසම බුද්ධියක් සහ අවංකභාවයක් පෙන්වූ අපූර්ව මනුෂ්‍යයෙකු බව ද දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා, ඩෙස්මන් ටුටූ හිමිපාණන්ගේ අභාවය පිළිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 December 2021 06:38