April 20, 2024

දස දරු උපත බොරුවක්! කාන්තාව මානසික සායනයකට

ලෝකයේ සියලු දෙනාගේ අවධානය දිනාගනිමින් දකුණු අප්‍රිකානු මවක් දරුවන් දස දෙනෙකුට උපත ලබාදුන් බවට වන පුවත ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙන්ම, සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වු පුවතක් වුණා.

නමුත් දැන් වාර්තා වන නවතම පුවත් අනුව මෙම දරු උපත පිළිබඳව දැඩි සැකයක් නිර්මාණය වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අසල ටෙම්බීසා නගරයේ පදිංචිව සිටි ගෝසියාම් තමාරා සිතෝල් විසින් පිරිමි දරුවන් 07 දෙනෙකු සහ ගැහුනු දරුවන් 03 දෙනෙකු බිහි කළ බවට දකුණු අප්‍රිකානු පුවත්පතක් විසින් මුල්වරට වාර්තා කර තිබුණා.

නමුත් මෙම දරුවන් සැබැවින්ම උපත ලැබුවාදැයි සඳහන් වන කිසිදු ආකාරයක සාධකයක් මේ වනතෙක් නිකුත් වී නැහැ. දකුණු අප්‍රිකානු රජයටද මෙම කාන්තාව විසින් සැබැවින්ම දරුවන් දස දෙනෙකුට උපත ලබාදුන්නාද යන්න පිළිබඳව සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම තමාරා සිතෝල්ගේ සහකරු මෙන්ම මෙම දරුවන්ගේ පියා යැයි සඳහන් වෙන ටෙබෝගෝ සොටෙට්සි විසින්ද තවමත් මෙම දරුවන් හෝ දරුවන්ගේ මව දැක නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් මුලදී දරුවන් උපත ලබා ඇති බව කීවත් දැන් ඔහු විසින් දරුවන් උපත ලබා නොමැති බවට වන ප්‍රකාශයන් නිකුත් කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ප්‍රිටෝරියා හී කිසිදු රෝහලක් හෝ වෛද්‍යවරයෙකු විසින් මෙම දරුවන් සඳහා උපත ලබාදුන්නාද යන්න තහවුරු කර නොමැති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. 

ඇය විසින් ප්‍රිටෝරියා හී ස්ටීව් බිකෝ අධ්‍යයන රෝහල වෙත ගොස් සිය දරුවන් ස්කෑන් පරික්ෂණයකින් බලා ගැනීම සඳහා අවශ්‍යය යැයි පවසා තිබුණු බවත්, රෝහල විසින් ඇයට උපකාර කිරීමට සුදානම්ව සිටි බවත්, ඇයට පැමිණිමට දිනයක් ලබාදුන් බවත් රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් මාධ්‍ය වෙත පවසා තිබුණා. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඇය නැවත නොපැමිණිය බවයි.

තමාරා සිතෝල් මේ වන විට සිටින තැන පිළිබඳව කිසිදු ආකාරයක් තොරතුරුක් වාර්තා නොවන අතර ඇය වට්ස්ඇප් මාර්ගයෙන් පමණක් සිය දරුවන්ගේ පියා සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බව වාර්තා වෙනවා. එමෙන්ම ඇය අතුරුදහන් වී ඇති බවට ඇයගේ පවුලේ පිරිස විසින් පැමිණිල්ලක් ද දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙන්ම මෙම පුවත් මුලින්ම වාර්තා කළ මාධ්‍ය ආයතන විසින් කිසිදු රෝහලකින් හෝ ඇයගේ දරු ගැබ පිළිබඳව කිසිදු කරුණුක් සොයා නොබලා වාර්තා කර ඇති බවටද එම කිසිදු තොරතුරක් සත්‍යාපනය කර නොමැති බවට එරට මාධ්‍ය ප්‍රධානීන් විසින් චෝදනාවක් ද එල්ල කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රිටෝරියා පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබූ අතර ඔවුන් විසින් තමාරා සිතෝල්ව ඔවුන් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. එහිදී තමාරාගේ නීතිඥවරයා විසින් පවසා තිබුණේ ඇය දකුණු අප්‍රිකානු සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා මානසික චිකිත්සක ප්‍රතිකාර ලබාගන්නා බවයි.

ඇයව පොලීසිය භාරයට ගැනීමෙන් පසුව රෝහලක් වෙත ඉදිරිපත් කර මානසික සායනයකට යොමු කරවා ඇති බවද ඊයේ (17) දිනයේ දී දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව මෙම සිදුවීම මුලාවක ප්‍රතිඵලයක් බවට දකුණු අප්‍රිකානු මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 18 June 2021 22:44