April 27, 2024

වසංගතය නිමාවෙන දිනය ගැන බිල් ගේට්ස්ගෙන් අනාවැකියක්

December 10, 2021

මෑතදී නිර්මාණය වූ ඔමික්‍රෝන් විකෘති කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳව ලොවම දැඩි අවධානයෙන් පසුවද්දී ලෝ පතල ව්‍යවසායකයෙකුවන බිල් ගේට්ස් මහතා මෙම ගෝලීය වසංගතය පිළිබඳ අනාවැකියක් පළ කොට තිබෙනවා.

ලබන වසර, එනම් 2022 තුළ මෙම වසංගතය ලොවින් පහව යනු ඇති බව ඔහු පවසනවා.

ගේට්ස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරසය ලොව පුරා වැසියන් රෝගී කරවමින් තවදුරටත් පැතිර යා හැකි නමුත් 2022 වසර තුළ එය වර්තමානයේ තරම් උග්‍ර නොවන තත්ත්වයකට පත්වනු ඇති බව යි.

මාරාන්තික බව

නව ප්‍රභේද තැනින් තැන මතුවීම ඕනෑම වේලාවක සිදුවිය හැකි බවත්, එය සැළකිලිමත් විය යුතු කරුණක් වුවත් ලොව බොහෝ රටවල් වසංගතය සාර්ථකව පාලනය කිරීමට ලබන වසරේදී සමත්වනු ඇති බවට ද ගේට්ස් මහතා අනාවැකි පළ කරනවා.

කොවිඩ් 19 ආසාදිත රෝගී තත්ත්වය, සාමාන්‍ය උණ රෝගී තත්ත්වය මෙන් 10 ගුණයක් මාරාන්තික බවින් වැඩි මට්ටමක මේවන විට පවතින බව ඔහු පෙන්වා දෙනවා.

එනමුත් එන්නත්කරණය සහ මිනිස් වර්ගයා තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ හේතුවෙන් ලබන වසරවන විට කොවිඩ් 19 ආසාදිත රෝගී තත්ත්වය, සාමාන්‍ය උණ රෝගය මෙන් 05 ගුණයක මාරාන්තික බවකට හෝ ඊටත් අඩු අගයකට පත්වනු ඇති බව යි ගේට්ස් මහතා සඳහන් කරන්නේ.

වෙනත් අයුරකින් කිවහොත් වසංගතයේ භයානක බව සැළකිය යුතු ලෙස 2022 වසර තුළ අඩුවනු ඇති බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම කොවිඩ් 19 වෛරසය මතු වූ අවස්ථාවේ එය පිළිබඳව විද්‍යාඥයන් වැඩිදුර නොදැන සිටි නමුත් මේවන විට වෛරසය පිළිබඳ විද්‍යා සමාජය හොඳින් දන්නා නිසා එයට එරෙහි සටන ද අන් කවරදාකටත් වඩා සාර්ථකවනු ඇති බව යි ගේට්ස් මහතාගේ මතය වී ඇත්තේ.

ගේට්ස් නෝට්ස්

සිය අදහස් ලොවට ගෙන යාම සඳහා ඔහු භාවිත කරන “ගේට්ස් නෝට්ස්” බ්ලොග් අඩවියෙහි පළ කොට ඇති ලිපියක් තුළ ඔහු මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.

බිල් ගේට්ස් යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුළු ලොව වැඩි වශයෙන්ම භාවිතයට ගන්නා මෘදුකාංග ගණනාවක් නිර්මාණය කළ වින්ඩෝස් සමාගමේ සම-නිර්මාතෘවරයා යි.

ඔහු මීට පෙර ද ලොව විවිධ දෑ පිළිබඳව අනාවැකි පළ කොට ඇති අතර ඒවායින් බොහොමයක් සැබෑ වී තිබෙනවා.

මේ අතර අවසන් වීමට ආසන්න වී ඇති 2021 වසර පිළිබඳව ඔහු දීර්ඝ ලෙස සටහන් තබා ඇති අතර සිය පුද්ගලික අත්දැකීම් ගැන ද ඔහු සඳහන් කිරීමට අමතක කොට නැහැ.

මම තනිවෙලා

ලොව සෑම දෙනෙකුටම පාහේ 2021 වසර අභියෝගාත්මක වූ බව තමා සිතන බවත්, තමන්ට ද එය දැඩි අභියෝගාත්මක වසරක් වූ බවත් ඔහු පවසනවා.

දික්කසාද වීම සිය බිරිඳ සහ තමන් එක්ව ගත් තීරණයක් වුවත් මෙම වසර සිය ජීවිතයේ දැඩි කණගාටුදායී වසරක් බව තමන්ට පිළිගැනීමට සිදුවන බව යි ඔහු සඳහන් කරන්නේ.

දිගුකලක් ජීවිතයේ තිබූ දෑ වෙනස් කරගැනීම කිසිසේත්ම පහසු දෙයක් නොවන බව ද ඔහු පවසනවා.

ලෝක වාසීන් ප්‍රවෘත්ති තුළින් දුටුවාට වඩා සිය පවුල බොහෝ වෙනස්වීම්වලට ලක් වුණු බව පවසන බිල් ගේට්ස් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිය වැඩිමහලු දියණිය මෙම වසරේ දී විවාහ වී ගිය බව යි.

සිය පුතුන් ද වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් නිවස හැර ගිය බව ඔහු පවසන්නේ කණගාටුවෙන්.

මේවන විට සිය නිවස හිස් කැදැල්ලක් වී ඇති බවත්, තමාට බොහෝ සෙයින් තනිකම සහ පාලුව දැනෙන බවත් බිල් ගේට්ස් මහතා සිය බ්ලොග් සටහන හරහා පවසනවා.

Rate this item
(8 votes)
Last modified on Friday, 10 December 2021 09:51