April 25, 2024

යුක්‍රේනයට වෙනස් ප්‍රහාරයක්: රුසියාවට චෝදනා!

February 16, 2022

යුක්‍රේනය වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යංශය සහ ප්‍රධාන බැංකු දෙකකට මෙම සයිබර් ප්‍රහාර මාලාව එල්ල වී ඇති බව යි.

මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල වන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සැරසෙන බවට ලෝක දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනාත්මක පුවත් මවමින් සිටින අතරතුර යි.

රුසියාවට චෝදනා

එමෙන්ම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේන තොරතුරු ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් ඇඟිල්ල දිගු කොට ඇත්තේ ද රුසියාව දෙසට යි.

මීට පෙර ද රුසියාවෙන් මෙවැනි සයිබර් ප්‍රහාර සිය රට ඉලක්ක කොට එල්ල වූ බව ද යුක්‍රේනය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේවන විට යුක්‍රේනයේ උතුරින්, නැගෙනහිරින් සහ දකුණෙන් සිය හමුදා කණ්ඩ විශාල ප්‍රමාණයක් ස්ථානගත කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා කටයුතු කර ඇත්තේ අති නවීන ආයුධ ද සහිතව යි.

මෙලෙස යුක්‍රේන දේශ සීමාව ආශ්‍රිතව රඳවා ඇති භටයින් ගණන 130000ක් පමණ වන බව සඳහන්.

කෙසේ වෙතත් සිය භටයින්ගෙන් සමහරක් යළි ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බවට පැය කිහිපයකට පෙර රුසියානු නායකයා ප්‍රකාශ කළ අතර ඊට සුළු මොහොතකට පසු යි යුක්‍රේනයට සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එමෙන්ම රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති දිනය බවට එක්සත් ජනපදය විසින් අනාවැකි පළ කොට තිබුණේ ද අද (16) දිනය පිළිබඳව යි.

පුටින් කිව්වේ බොරු ද?

මේ අතර භටයින් පිරිසක් ඉවත් කරගන්නා බවට පුටින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එවැන්නක් තවමත් තහවුරු වී නොමැති බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරනවා.

එබැවින් යුක්‍රේනය සම්බන්ධ යුද අනතුර තවමත් එලෙසම පවතින බව එක්සත් ජනපද ජනපතිවරයා පෙන්වා දෙනවා.

“යුක්‍රේනය ආසන්නයේ රඳවා සිටි හමුදා කණ්ඩායම් සමහරක් එම ස්ථානවලින් පිටත්ව යන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා. ඒක හොඳ දෙයක්. හැබැයි අපි තවම ඒක තහවුරු කරගෙන නැහැ. අපි තාම තහවුරු කරගෙන නෑ රුසියානු හමුදා සාමාජිකයන් තම නිත්‍ය කඳවුරුවලට ආවද කියන එක ගැන. 

ඒ වගේම අපේ බුද්ධි අංශ විශ්ලේෂණ වාර්තා සඳහන් කරන්නේ තවමත් අනතුරුදායක තත්ත්වයක මේ ප්‍රශ්ණය පවතින බව. රුසියානු හමුදාව යුක්‍රේන සහ බෙලරූස් දේශ සීමාව ආශ්‍රිතව ලක්ෂ ගණනින් රැඳී සිටින බව තවමත් පැහැදිළි කරුණක්. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව තවමත් පෙර පරිදිම පවතිනවා”

එමෙන්ම නේටෝ සංවිධානය ද පවසන්නේ භටයින් ඉවත් කරගැනීමක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් තමන් වෙත මෙතෙක් තහවුරු වී නොමැති බව යි.

ස්ථානගත කර ඇති ආයුධ එලෙසම තබා භටයින් මාරු කිරීම යනු හමුදාව ඉවත් කර ගැනීමක් නොවන බව ද එම සංවිධානය ප්‍රකාශ කරනවා.

අපිටත් යුද්ධයක් එපා

මේ අතර රුසියානු ජනාධිපතිවරයා දිගින් දිගටම පවසන්නේ සිය රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කර ඇති යෝජනා සහ කොන්දේසිවලට පිළිතුරු අපේක්ෂාකරන බව යි.

රුසියාවට යුද්ධයක් අවශ්‍ය නොමැති බව අවධාරණය කරන පුටින් මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමන් යෝජනා ඉදිරිපත් කර සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳාගැනීමට උත්සහ දරන්නේ ද රුසියාව හට යුද්ධයක් අවැසි නොමැති නිසා බව යි.

වර්ධනය වෙමින් පවතින උණුසුම සමනය කිරීම සඳහා ජර්මන් චාන්සලර්වරයාවන ඔලාෆ් ශෝල්ස් මහතා රුසියාව බලා ගොස් තිබෙනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග සාකච්ඡා කිරීම සඳහා යි.

සාකච්ඡාවෙන් අනතුරුව ජර්මන් චාන්සලර් ඔලාෆ් ශෝල්ස් මහතා ප්‍රකාශ කළේ සියළු පාර්ශවවලින් වගකීම් සහිත තීරණ සහ ක්‍රියාත්මක වීම් අවශ්‍යව ඇති බව යි.

යුරෝපය තුළ යුද ගැටුමක් නිර්මානය නොවීමට වගබලා ගැනීම නායකයන් ලෙස සැමගේම වගකීම බව ඔහු අවධාරණය කළා.

ශෝල්ස් මහතා මීට පෙර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා ද හමු වූවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 February 2022 13:46