April 27, 2024

ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ දොර ළඟට පැමිණෙයි

December 03, 2021

ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

සිදු කළ පරීක්ෂාවක දී එම ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙකු ඊයේ (02) දින හමු වූ  බව යි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මෙම සිද්ධීන් දෙකම කර්ණාටක ප්‍රාන්තයෙන් හමුව තිබීම විශේෂත්වයක්.

ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු විදේශිකයෙකුවන අතර ඔහු පසුගිය මස 20 වැනි දා දකුණු අප්‍රිකාවේ සිටි පැමිණි අයෙකු බව අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම විදේශිකයා පූර්ණ එන්නත්කරණයට ලක්වූවෙක් බව සඳහන්.

අනෙක් ආසාදිතයා බෙන්ගලූරු නගරයේ වෛද්‍යවරයෙකු අතර ඔහු කොවිඩ් මර්ධන එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලැබූවෙකු බව යි වාර්තා වන්නේ.

මෙම වෛද්‍යවරයා විදේශගතව පැමිණි අයෙකු නොවීම සැළකිය යුතු කාරණයක්වන අතර ඒ අනුව සමාජයේ තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් සිටීමේ සම්භාවීතායක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් බිය පළ කරනවා.

කොහොම නමුත් මෙම තත්ත්වය හමුවේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ අනවශ්‍ය ලෙස බිය නොවන ලෙසට යි.

ඔමික්‍රෝන් ප්‍රභේදය

ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ප්‍රථමයෙන්ම සොයාගනු ලැබුනේ දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් විසින්.

ඒ එරට එක් පළාතක පැතිර යමින් තිබිය දී.

කෙසේ වෙතත් විද්‍යාඥයින් අදාළ ප්‍රභේදය සොයාගත් බවට ලොවට අනාවරණය කිරීමත් සමගම ලොව විවිධ රටවල් දකුණු අප්‍රිකාව ඇතුළු අසල්වැසි රටවල් වෙතට සංචාරක සීමා පැනවීමට කටයුතු යෙදුවත් දින කිහිපයක් තුළ එය ලොව වටා පැතිරීම ආරම්භ වූවා.

මේවන විට එය මහාද්වීප ගණනාවක රටවල් 20කට අධික ගණනකට පැතිර ගොස් අවසන්.

භයානක බව

බරපතළම කරුණ වන්නේ මෙතෙක් හමුව ඇති කොවිඩ් 19 වෛරස ප්‍රභේදයන් සියල්ලම හා සැසඳූ විට ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව දරුණුතම සහ භයානකම කොවිඩ් 19 වෛරස ප්‍රභේදය ලෙස මේවන විටත් විද්‍යාඥයින් විසින් හඳුන්වා තිබීම යි.

එහි විකෘති ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විද්‍යාඥයන් පවා පුදුමට පත්ව ඇති බව සඳහන්.

දකුණූ අප්‍රිකානු වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටූලියෝ දි ඔලිවේරා මහතා පවසන්නේ මෙම ප්‍රභේදයේ ඇත්තේ අසාමාන්‍ය විකෘති ප්‍රමාණයක් බව යි.

එමෙන්ම මෙතෙක් ලොව පුරා වාර්තා වූ ප්‍රභේද සමග සැසඳීමේ දී බොහෝ වෙනස්කම් මෙම නව ප්‍රභේදයෙහි දක්නට ඇති බව ද ඔහු පවසනවා.

“මේ ප්‍රභේදය අපිව පුදුමයට පත් කළා. වෛරසයේ පරිණාමය අතින් ගත් විට මෙය ලොකු පිම්මක්. මේ සොයාගැනීමත් සමග ඉදිරි කාලයේ දී පැමිණිය හැකි තවත් විකෘති ප්‍රභේද ගණනාවක් පිළිබඳව අපි බලාපොරොත්තු විය යුතු වනවා”

මහාචාර්ය ඔලිවේරා වැඩිදුරටත් පවසන්නේ නව ප්‍රභේදය තුළ විකෘති 50ක් මෙතෙක් සොයාගෙන ඇති බව යි.

ඉන් 30කටත් වඩා වෛරසයේ “ස්පයික් ප්‍රෝටීනවල” සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ස්පයික් ප්‍රෝටීන විකෘති

කොවිඩ් 19 වෛරසය මිනිස් සිරුරෙහි සෛල සමග සම්බන්ධ වී සිරුරට ඇතුළු වීමට භාවිත කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීන යි.

එමෙන්ම නිපදවා ඇති කොවිඩ් මර්ධන එන්නත් බොහොමයක ඉලක්කය ද වෛරසය වටා පවතින ස්පයික් ප්‍රෝටීන වනවා.

මෙවන් තත්ත්වයක් මත නව ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනවල සිදුව ඇති විකෘතිතා ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ හැකි බවට යි මත පළව තිබෙන්නේ.

මීට පෙර ලෝකය පුරා පැතිර ගොස් ජීවිත විශාල ගණනක් බිළිගත් ඩෙල්ටා ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීන විකෘතිතා පැවැතුණේ 02ක් පමණයි.

විකෘති 02ක් හේතුවෙන් සිදු වූ විනාශය ගණන් බලන විට ස්පයික් ප්‍රෝටීන විකෘතිතා 30කට වඩා පවතින නව ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වුවහොත් කොපමණ විනාශයක් සිදු කරයිදැයි තමන් හට සිතා ගැනීමට ද නොහැකි බව ඇතැම් විද්‍යාඥයින් බිය පළ කරනවා.

මෙවන් මට්ටමක විකෘති ගොන්නකින් යුතු නව ප්‍රභේදය ආසාදනය වුවහොත් එය මර්ධනය කර ජය ගන්නට මිනිස් සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතියට බෙහෙවින් අසීරුවනු ඇති බව ද ඔවුන් පවසනවා.

චීනයේ වූහාන් ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් 19 මුල් වෛරසය ඉලක්ක කොටගෙන මේවන විට භාවිතයේ පවතින එන්නත් සියල්ලම පාහේ නිපදවා ඇති හෙයින් මේ මට්ටමේ විකෘති ගොන්නක් සමග පැමිණෙන නව ප්‍රභේදය එම එන්නත්වලට ද මැඩපැවැත්විය නොහැකිවනු ඇති බවට ද විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 08:57