April 26, 2024

‍ඩෙනිම් කලිසමක් ඇන්දාය කියා දැරියක් වධ දී මරා දමයි

‍ඩෙනිම් කලිසම් ඇඳීමේ වරදට දැරියක ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 17 හැවිරිදි සිසුවියක්.

අමානුෂික ලෙස පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව යි ඉන්දීය පුවත් වාර්තා සඳහන් කරන්නේ.

නේහා පස්වාන් නමැති මෙම දැරිය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකාරිණියක්.

දැරියගේ සීයා සහ තවත් ඥාතීන් පිරිසක් ඇයට මෙලෙස පහර දී ඇති බවට ඇගේ මව බීබීසී සේවයට පවසා තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී දැරිය දිග කලිසමක් ඇඳ සිට ඇති අතර ඇගේ සීයා සහ ඥාතීන් එයට විරෝධය පළ කොට තිබෙනවා.

පසුව පහර දීමක් දක්වා එම විරෝධය දුරදිග ගොස් ඇති බව සඳහන්.

දැරියගේ මව පවසන්නේ ඥාතීන් පිරිසගේ පහරදීමෙන් අනතුරුව දැරිය සිහිසුන් වී ඇදවැටුණු බව යි.

පසුව සිහිසුන් වූ දැරිය රෝහල්ගත කිරීමට යැයි පවසමින් ඇයව රැගෙන යාමට ඇයට පහර දුන් ඥාතීන් පිරිසම ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් සිය දියණිය බැලීම සඳහා දැරියගේ මව රෝහල වෙත යාමට සැරසෙද්දී පහරදීමට සම්බන්ධ ඥාතීන් පිරිස එයට ඉඩ ලබා දී නැහැ.

එම විරෝධය හමුවේ දැරියගේ මව විවිධ පුද්ගලයින්ගෙන් ඉල්ලා ඇත්තේ රෝහල්ගතව සිටින සිය දියණිය පිළිඳව සොයා බලා තොරතුරක් ලබා දෙන ලෙසට යි.

එහෙත් ඒ කිසිදු අයෙකුට දැරිය රෝහලෙහි සිටින බවට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.

පසු දා උදෑසන දැරියගේ මවට ආරංචි වී ඇත්තේ ඔවුන් ජීවත්ව සිටින ප්‍රදේශය හරහා ගලා බසින “ගන්දක්” නදිය හරහා ඇති පාලමකින් ගැහැණු දැරියකගේ සිරුරක් එල්ලෙමින් පවතින බව යි.

වහාම එම ස්ථානයට ගොස් ඇති ඇය, එම සිරුර සිය දියණියගේ බවට හඳුණාගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දැරිය රෝහල්ගත කිරීමට යැයි පවසමින් රැගෙන ගිය ඥාතීන් ඇයව තවදුරටත් වධ හිංසනයට ලක් කොට මෙලෙස ඝාතනය කර ඇති බවට  සැක කෙරෙන බව යි.

ඉන්දියාව තුළ දැරියන් සහ තරුණියන් විවිධ හේතු මත වධ හිංසනයට භාජනය වූ පුවත් විටින් විට අසන්නට ලැබෙනවා.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ එම වධ හිංසනවලින් බොහොමයක් සිදුවන්නේ සිය නිවෙස් තුළ දී වීම යි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 28 July 2021 17:47