May 17, 2024

ඉන්දියාව කැළඹෙයි : එන්නත් දෙන මුවාවෙන් කළ අපරාධය හෙළිවෙයි

කොරෝනා එන්නත් දෙන මුවාවෙන් සිදුකර ගෙන ගිය අපරාධයක් සොයා ගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව තුළ කොරෝනා එන්නත් ලබාදීම සඳහා පෞද්ගලික අංශයටත් අවසර ලබාදී තිබෙන අතර මෙම අපරාධය සඳහා සම්බන්ධ වී තිබෙන්නේ ද මෙම පෞද්ගලික අංශ විසින් පවත්වාගෙන යනු ලබන එන්නත් මධ්‍යස්ථානයි.

අදාළ පෞද්ගලික එන්නත් ලබාගන්නා මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට සේලයින් හෝ ලුණු මිශ්‍ර වතුර එන්නත් කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ පිරිස් සොයා අත්අඩංගුවට ගැනීමට ඉන්දියානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර මෙම ව්‍යාජ එන්නත් සඳහා හසුව ඇති පිරිස 2,500කට අධිකයි.

මුම්බායි හී පිහිටි පෞද්ගලික රෝහලක් වන ශිවම් රෝහලේ කරන ලද වැටලීමකදී මේ පිළිබඳව මුල්වරට අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේම රෝහලේ බලපත්‍රය අහෝසි කරන්නත් බලධාරීන් කටයුතු කර තිබුණා.  එම රෝහල විසින් මෙම ව්‍යාජ එන්නත් බෙදා හැරීමක් සිදුකර ඇතිද යන්න පිළිබඳව බලධාරීන් විසින් පරික්ෂණ ආරම්භ කරලා.

මුම්බායි අයත් ප්‍රාන්ත රජය විසින් පෞද්ගලික අංශයට එන්නත් විසිදහසක් (20,000ක්) ලබා දී තිබුණු ඉන්දියානු මාධ්‍ය පවසා තිබේ.

මෙලෙස ලබාදුන් එන්නත් වංචාකරුවන් විසින් කිසියම් මාර්ගයකින් ලබාගන්නට ඇති බවත්, ලබාදී අවසන් වුණු එන්නත් කුප්පි සඳහා සේලයින් හෝ ලුණු වතුර පුරාව නැවත එන්නත් ලෙස ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බවත් පරික්ෂණය මෙහෙය වූ මුම්බායි පොලීසිය පවසනවා.

මේ වන විට ව්‍යාජ එන්නත ලබා දුන් පෞද්ගලික එන්නත් මධ්‍යස්ථාන 10කට වඩා හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් විසින් ඉන්දියානු රුපියල් කොටි 2.6ක පමණ ආදයමක් මෙම ව්‍යාජ එන්නත් හරහා උපයාගෙන ඇති බවත් වාර්තා වෙනවා. මෙම එන්නතක් සඳහා ඉන්දියානු රුපියල් 1,260ක පමණ මිලක් අයකරගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබේ.

Rate this item
(0 votes)