April 19, 2024

ගුවන් අනතුරේ රහස් සියල්ල සැඟවෙයි - අවසන් විරුවාත් පිළිස්සී මරුට (VIDEO)

December 18, 2021

පසුගිය 08 වැනි දා ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් මහතා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටී සිදු වූ ගුවන් අනතුරින් දිවි බේරාගත් බවට වාර්තා වූ එකම පුද්ගලයා ද මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බලගන නියමු, වරුන් සිං නමැති නිලධාරියා යි.

අනතුරින් සිදු වූ තුවාළ හේතුවෙන් ඔහු මරණයට පත් වූ බව යි.

අනතුර සිදු වූ අයුරු නිෂ්චිත ලෙස පැවසීමට තවමත් නොහැකිව ඇති පසුබිමක වරුන් සිං මහතාගෙන් ඒ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමට හැකිවෙතැයි ඉන්දීය ගුවන් හමුදාව විශ්වාස කරමින් සිටියා.

කෙසේ වෙතත් ඔහු මෙලෙස දිවි හැර ගියේ අනතුර පිළිබඳ රහස් සියල්ල සඟවා ගනිමින්.

කවුද මේ වරුන් සිං?

වරුන් සිං මහතා සාමාන්‍ය නිලධාරියෙකු ලෙස හැඳින්විය නොහැක්කේ පසුගිය වසරේ දී ඔහු විසින් සිදු කළ වික්‍රමාන්විත ක්‍රියාවක් හේතුවෙන්.

එදින ඔහු ගමන්ගත් “තේජාස්” වර්ගයේ ප්‍රහාරක යානය තාක්ෂණික දෝශයකට ලක්ව ඇති අතර ඉන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට වරුන් සිං මහතා සමත් වී තිබෙනවා.

ඔහුගේ එම වීර ක්‍රියාව වෙනුවෙන් පසුගිය අගෝස්තු මාසයේ දී ඔහුව “සෞර්ය චක්‍ර” සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

බලගන නියමු වරුන් සිං මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් මහතාගේ සම්බන්ධීකාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

වරුන් සිං මහතාගේ සොයුරාවන තනූජ් සිං මහතා ද ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා.

එමෙන්ම ඔහුගේ පියා වූ කේ.පී. සිං මහතා ද ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස යි සේවය කර ඇත්තේ.

දෙදරු පියෙකු ද වන වරුන් සිං මහතාගේ මරණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අවසන් ගුවන් ගමන

ඉන්දියාවේ ඉහළම හමුදා නිලය ලෙස සැළකෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරූ ජෙනරල් බිපින් රාවත් මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වූයේ පසුගිය 08 වැනි දා දහවල් කාලයේ යි.

තමිල්නාඩු ප්‍රාන්තයේ, කූනූර් ප්‍රදේශයේ, නිල්ගිරි කඳුවැටියේ පිහිටි කටේරි නමැති තේ වත්තක් ආශ්‍රිත පෙදෙසකට මෙම යානය කඩා වැටී තිබුණා.

යානයෙහි ගමන් කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ කාර්යමණ්ඩලය යි.

වෙලින්ටන්හි පිහිටි ආරක්ෂක විද්‍යාලයේ දේශනයක් සඳහා රාවත් මහතා මෙලෙස ගමන් කොට ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අතර ඉහළ පෙලේ ඉන්දීය හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ද සිටින බව සඳහන්.

අනතුර

යානය සුලූර් ගුවන් හමුදා කඳවුරෙන් පිටව ගොස් තිබුණේ පෙරවරු 11.48ට යි.

එය පස්වරු 12.15ට වෙලින්ටන්හි ගොඩබෑමට නියමිතව තිබුණා.

සුලූර් කඳවුරේ ගුවන් පාලක මධ්‍යස්ථානය පවසන්නේ හෙලිකොප්ටරය සමග අවසන්වරට සන්නිවේදන සබඳතා පැවැත්වීමට හැකි වූයේ පස්වරු 12.08ට බව යි.

දහවල් 12.20ට පමණ යානය කඩා වැටී ඇති බව පැවසෙනවා.

අනතුරට හේතුව

ඉන්දීය බලධාරීන් සැක කරන්නේ මීදුම් සහිත කාලගුණය හේතුවෙන් නියමුවන්ට මග නොපෙනීයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට යි.

කෙසේ වෙතත් ඉන්දීය ගුවන් හමුදාව මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා

යානයේ සුන්බුන් අතර තිබූ එහි “කළු පෙට්ටිය” හෙවත් දත්ත රෙකෝඩරය සොයාගැනීමට හැකි වූ අතර එහි දත්ත පරීක්ෂා කිරීම හරහා අනතුර සම්බන්ධව වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවට යි විශ්වාසය පළ වී ඇත්තේ.

Image

වැඩිදුර කියවන්න: ඉන්දීය යානයට දෙමළ ත්‍රස්තයන් වෙඩි තැබූවේ යැයි පාකිස්තානයට සැකයක්

මියගිය පිරිස

අනතුර සිදුවන විට හෙලිකොප්ටර් යානය තුළ පුද්ගලයින් 14 දෙනෙකු ගමන්ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු එදිනම (08) මරණයට පත් වූවා.

63 හැවිරිදි ජෙනරල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳවන මධුලිකා රාවත්, රාවත් මහතාගේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ලක්බින්දර් සිං සහ රාවත් මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මියගිය පිරිස අතර වනවා.

දිවි බේරාගැනීමට හැකි වූයේ හෙලිකොප්ටරයේ ගමන්ගත් බලගන නියමු, වරුන් සිං හට පමණ යි.

දැඩි ලෙස පිළිස්සී සිටි ඔහු බරපතළ තත්ත්වයේ පසු වූවා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ද මියගියේ හෙලිකොප්ටරයේ ගමන් ගත් සියළු දෙනා මෙම අනතුරින් මියගිය බවට වූ පුවත ඉතිහාස පොත් අතර රඳවමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 22:27