May 17, 2024

කළු දිලීරය අස්සේ කහ සහ සුදු දිලීර දෙකකුත් පැතිර යයි - කහ දිලීරයට සියල්ලටම වඩා මාරාන්තිකයි

පළමුවරට පුද්ගලයෙකු කොරෝනා වෛරසයෙන් සුව වීමෙන් අනතුරුව දිලීර වර්ග 03ක් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති පුවතක් ඉන්දියාවේ නවදිල්ලි නුවරින් වාර්තා වෙයි.

59 හැවිරිදි කුන්වර් සිං නම් පුද්ගලයෙකු නවදිල්ලියට යාබදව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි ගාසියාබාද් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබේ. ඔහුට ඉන්දියාවේ පැතිර ගිය දෙවන කොරෝනා රැල්ලේ දී වෛරසය ආසාදනය වූ බවට සැලකෙන අතර කොරෝනා නිසා ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් මෙම දිලීර ආසාදනය සිදුවන්නට ඇති බව සඳහන්.

මෙම රෝගියාට සිදුකරන ලද එන්ඩොස්කොපි පරීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ මාරාන්තික කළු දිලීරයට අමතරව සුදු සහ කහ පැහැති දිලීර වර්ග 02ක් ද ඔහුට ආසාදනව වී ඇති බවයි.

මිනිස් ශරීරයේ ආසාදනය පිළිබඳව පර්යේෂකයෙකු වන (Olaryngologist) කෙනෙකු වන ත්‍යාගි මහතා සඳහන් කර සිටියේ ඔහු ප්‍රතිකාර කරන ලද රෝගීන්ගෙන් මෙම දිලීර ආසාදනයන් 03ම වාර්තා වූ පළමු රෝගියා මෙම පුද්ගලයා බවයි. මේ වන විට ඔහු විසින් කහ දිලීර රෝගය ආසාදනය වූ තවත් රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටින බවද පවසා සිටියේය.

මෙලෙස ප්‍රතිකාර කරනු ලබන රෝගියාගේ මොළය ආසන්නයේ තිබි කහ දිලීරය සොයා ගත් බවත් එම රෝගියාගේ හකු ප්‍රදේශයේ කොටසක් ඉවත් කර ඇති බවත් ත්‍යාගි මහතා සඳහන් කර සිටියේය. මෙම රෝගියාත් කොරෝනා වෛරසයෙන් සුව වූවෙකු බව සඳහන් වෙයි.

ත්‍යාගි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කහ දිලීරය සුදු සහ කළු දිලීරයන් දෙකට වඩා මාරාන්තික බවින් වැඩි බවයි. එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ එම රෝගය මිනිසාගේ අභ්‍යන්තර අවයවවලට පැතිර යාමේ වැඩි හැකියාවක් තිබීමයි.

මේ අතර ඉන්දියාව තුළ කළු දිලීර නොහොත් මුකෝර්මිකෝසිස් මෑතකදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වසංගත රෝග පනත යටතේ සැලකිය යුතු රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ගාසියාබාද් නගරයේ රෝගීන් 65 ක් පමණ දිලීර ආසාදනවලින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, ඒවා සියල්ලම කොවිඩ් -19 හි සංකූලතා යැයි විශ්වාස කෙරේ.

ගාසියාබාද් නගරයේ පමණක් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ දෙවැන රැල්ලෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 27.9ක් වාර්තා කර ඇති අතර මරණයට පත්වූ සංඛ්‍යාව 325,000ක් පමණ වෙයි. එමෙන්ම කළු දිලීර ආසාදනය මේ වන විට ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර නිලධාරීන් පවසන්නේ කළු දිලීර පමණක් මේ වන විට 12,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

එන්ඩස්කොපි පරික්ෂණයකදී මාරාන්තික කහ දිලීර හඳුනාගෙන ඇති ආකාරය

අභ්‍යන්තර අවයවවලට පැතිර ඇති මාරාන්තික කහ වෛරසය
Rate this item
(0 votes)