May 17, 2024

දිනක් තුළ ඉන්දියාවේ කොරෝනා සමඟ සටනේ සිටි වෛද්‍යවරුන් 50කට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භයත් සමඟ මේ වන විට වෛද්‍යවරුන් 244 දෙනෙකු මියගොස් ඇති බවට ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම මිය ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බිහාර් ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව 69කි. උත්තර් ප්‍රදේශ්වලින් 34ක්ද, නව දිල්ලි නුවරින් 27ක් ද ලෙසද වෛද්‍යවරුන්ට දිවි අහිමි වී තිබේ.

පසුගිය ඉරිදා (16) දිනයේ දී කොරෝනා වසංගතය මර්දනය කිරීමට ඉදිරිපෙළ කටයුතු කරමින් සිටි වෛද්‍යවරුන් 50කට දිවි අහිමි වී ඇති බවද එම සංගමය පවසා සිටියි.

ඉන්දියාවේ සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගෙන් 66%ක් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන තිබුණත්, එම ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය සම්පුර්ණ කර ඇත්තේ 3%ක් වැනි ඉතාමත් පහළ අගයකි.

ඉන්දියාවේ පළමු කොරෝනා රැල්ලෙන් වෛද්‍යවරුන් 736කට දිවි අහිමිව තිබූ අතර මේ වන විටත් ඉන්දියාව තුළ සමස්තයක් ලෙස කොරෝනා වසංගතය හේතුවෙන් වෛද්‍යවරුන් 1000ක් පමණ මියගොස් තිබේ.

කෙසේ වෙතත් ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංගමය සතුව ඇත්තේ වෛද්‍යවරුන් තුන් ලක්ෂ පනස්දහසකගේ (350,000ක්) විස්තර පමණක් බවයි, එහෙත් ඉන්දියාව තුළ වෛද්‍යවරුන් ලක්ෂ 12කට වඩා සේවය කරයි. එම හේතුවෙන් වෛද්‍යවරුන් සංගමය පෙන්වා දෙන මිය ගිය ප්‍රමාණයන් බොහෝ විට ඉහළ යෑමට ඉඩක් ඇති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 08:20