May 01, 2024

ජනතාව තවත් ඇමතිවරු රැසකගේ නිවාස වටලයි - ජනපති කාර්යාලය ඉදිරියේ තවමත් විරෝධතා (PHOTOS)

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලට අසල විශාල පිරිසක් තවමත් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම කාර්යාලය අසල රැඳීසිටින 500ක් පමණ පිරිස විවිධ සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවයේ නිතර ව සිටිනවා.

මේ අතර රාජ්‍ය ඇමති ⁣රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව නිවස අසල ජනතාව එකතු වී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ඒ පවතින ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස් වෙන ලෙස දන්වමින්.

කෙසේවෙතත් සුපුරුදු පරිදි විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර නිවස ඉදිරිපිට විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දඹුල්ල යාපාගම ප්‍රදේශයෙහි පිහිටි නිවස ඉදිරිපිට අද විරෝධතාකරුවන් පිරිසක් දැඩි උද්ඝෝෂණයක නිරත වුවා.

දඹුල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන නිලධාරීන් විරෝධතාකරුවන් පැමිණෙන විටත් අමාත්‍යවරයාගේ නිවස දැඩි ආරක්ෂාවක් යොදවා තිබු බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කලේ.

පසුව පිරිස් එම ස්ථානයෙන් නික්ම කෑකෝ ගසමින් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ නිවස පිහිටි දඹුල්ල තිත්තවැල්ල ප්‍රදේශ්යට පිටත්ව යන්නට වූ බවද වාර්තා වෙනවා.

මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුල්ල රිල්හේන නිවස ඉදිරිපිටට පැමිණි පිරිසක්ද විරෝධතාවයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම පිරිස පැල්මඩුල්ල නගරයේ සිට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රිල්හේනට පැමිණ අමාත්‍යවරියගේ නිවස ඉදිරිපිට මාර්ගයේ රැදි සිට සටන් පාඨ කියමින් විරෝධතාවයේ යෙදුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක මන්ත්‍රීවරුන්ගේ නිවාස අසල මේ වනවිටත් ජනතා විරෝධතා පැවැත්වෙන බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් පවසයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 April 2022 23:07