April 26, 2024

"මුදල් ඇමති මාස 03කින් පාර්ලිමේන්තුවේදී කතා කර නෑ" බැසිල්ට නියෝග කරන්නැයි ඉල්ලීමක්

රට වියසනයකට මුහුණ දී ඇති අවස්ථාවක මුදල් ඇමතිවරයා රටේ මුල්‍ය තත්වය පිලිබදව මාස 3ක් පාර්ලිමේන්තුවේ කතා කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමිනි.

"කථානායකතුමනි මුදල් ඇමතිවරයාට රටේ මුල්‍ය තත්වය පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නයි වහාම නියෝගයක් ලබා දෙන්න” යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

"ගරු කථානායකතුමනි අපේ රටේ වියවස්ථාවේ 148වන වගන්තිය යටතේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් අපේ මුදල් ඇමතිතුමා අවසන් වරට මේ පාර්ලිමේන්තුවේ කතා කලේ පසුගිය දෙසැම්බර් 10ය. දැන් මාස 3ක් වෙනවා. මේ මාස 3න ඇතුලත වචනයක් කතා කරලා නෑ. 

රටේ ව්‍යසනයක් ඇති වෙලා තියනවා සෑම අංශයකම. නමුත් රටේ මුල්‍ය තත්වය පිලිබදව මාස 3ක් එතුමා ප්‍රකාශයක් කරලා නෑ. ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. ආණ්ඩු පක්ෂය කැදවලා කරුණු කිව්වා. නමුත් මාස 3ක් පාර්ලිමේන්තුවට වචනයක් කිව්වේ නෑ.

එම නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුවට රටේ මුල්‍ය තත්වය දැනුම් දෙන්න කියලා. තවත් කල් දාන්න බෑ. ලැජ්ජයි කියන්න පාර්ලිමේන්තුවේ වචනයක් කියන්නේ නෑ. නමුත් ලෝකේ වටේ යනවා හිගාකමින්, යුද්දයක් තියන රුසියාවෙනුත් ඩොලර් මිලියන 300 ක් ඉල්ලලා. ලජ්ජා නැද්ද? අනික් කාරණය තමා මුදල් බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ ඔබ තුමා පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්නේ නැත්තම් මොනවද ඔය පුටුවට වෙලා කරන්නේ." යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් අමාත්‍යවරයා මේ සභාවට නොපැමිණි බවට කරන ලද ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නැයි ඉල්ලීමක් කරන බවයි.

මුදල් අමාත්‍යවරයාට යොමු කරන ලද ප්‍රශ්න සියල්ලටම ඔහුගේ උපදෙස් මත රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ සියලු ලේඛන සම්බන්ධයෙන් මේ ස්ථානයේ විවාද පවත්වා ඇති බවත් සභානායකවරයා පෙන්වා දුන්නා.

"මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට විටින් විට පැමිණියා. ආවෙ නැහැ කියලා කියන්න බෑ.මුදල් ඇමැති රටට කරන ප්‍රකාශ මෙතන විවාදයටත් ලක් වුණා." යැයි දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළා.

"යුද්ධයක් තියෙද්දි යුක්‍රේන ජනාධිපතිතුමාත් ඒ රටේ පාර්ලිමේන්තුව ඇමතුවා." යැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා සඳහන් කළා.

"මුදල් අමාත්‍යවරයා මේ සභාවට ආවා. ඔබතුමාට ඒක පෙනුණේ නැත්තේ නිදාගෙන හිටපු නිසයි." යැයි පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෙන්වා දුන්නා.

"ඇමැතිවරයකුට ප්‍රකාශයක් කරන්න කියලා කියන්න මට බැහැ. මට ඒක කරන්න බැහැ. නමුත් මන්ත්‍රීවරයෙක් මාස තුනක් මේ සභාවට නොපැමිණියහොත් ස්ථාවර නියෝග අනුව මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා." යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2022 12:46

Related items