April 25, 2024

කෝ තෙල් ටැංකි රහස් ගිවිසුම - කිරිඇල්ල : කතානායක දැන් දෙන්න එපා කිව්වා - ඇමති ගම්මන්පිල

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් වූ ගිවිසුම කෝ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කළා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු එම ගිවිසුම පාර්ලිමේන්තුව වසා දමා තිබූ කාලයේ හොරෙන්ම අත්සන් කළ බවද සඳහන් කළ කිරිඇල්ල මහතා එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඒ අවස්ථාවේ සභාවේ සිටි ගම්මන්පිල අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

කතානායක දුන් උපදෙස

ඊට පිළිතුරු දීමට නැගී සිටී ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ එම ගිවිසුම මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසට තමාට කතානායකවරයා දැනුම් දුන් බවයි.

තමා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ඉකුත් සතියේ ලිඛිතව දැනුම් දුන් බවද සභාවට මතක් කර දුන් අමාත්‍යවරයා දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී විවාදයට ගැනෙන්නේ ජනපතිගේ රාජාසන කතාව බැවින් එය ඉදිරියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන සතියකදී ඉදිරිපත් කරන ලෙස තමාට කතානායකවරයා දැනුම් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගිවිසුම ඉදිරිපත් කරන දිනය

ඒ නිසා යළිත් පාර්ලිමේන්තුව පැවැත්වෙන පෙබරවාරි මස 8 වැනි දින එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

ගම්මන්පිල අමාත්‍යවරයා හා කිරිඇල්ල මන්ත්‍රීවරයා කර මෙම කතා බහ ඇතිවූයේ ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුරයි.

ගම්මන්පිල අමාත්‍යවරයා දිගින් දිගටම බොරු බොරු කීම මත රටේ හාස්‍යයට ලක් ව තිබෙන බවද එහිදී කිරිඇල්ල මහතා සඳහන් කළා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් ඉන්දීය තෙල් සමාගමට (IOC) ගිවිසුමකින් ලබාදීමට බලශක්ති අමාත්‍යංශයේ මේ වන විටත් පියවර ගෙන අවසන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 14:17

Related items