April 26, 2024

පාර්ලිමේන්තුව උණුසුම්: තෙල් ටැංකි ගැන ඇමති සමග කිරිඇල්ල හා කබීර් හෂීම් පැටලෙයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී තිබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් යන හිටපු අමාත්‍යවරුන් අතර.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ම ඉන්දියාවට ගිවිසුමකින් ලබාදී තිබෙන බවට අමාත්‍යවරයා කරන සඳහන බොරුවක් බවත් එය රට නොමග යැවීම සඳහා කරන ප්‍රකාශයක් බවට කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළා.

එ නිසා ඉන්දියාවට තාමත් ලබාදී නොමැති තෙල් ටැංකි 85 යළි ගන්නවාදැයි කිරිඇල්ල මහතා අමාත්‍යවරයාගේ ප්‍රශ්න කලා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2003 පෙබරවාරි 7 දින එම තෙල් ටැංකි සංකීර්ණය ගිවිසුමකින්ම වසර 35ක් සඳහා එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පවරා දී ඇති බවයි.

තවත් මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීම

2003 පෙබරවාරි 7 අත්සන් කළේ පවරා දීමේ ගිවිසුමක් නොව හය මසක් සඳහා වූ අවබෝධතා ගිවිසුමක් බවත් ඉන්පසුව එම ගිවිසුම යළි අලුත් කිරීමට නියමිතව තිබූ බව එම විවාදයට මැදිහත් වෙමින් කබීර් හෂීම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එහෙත් එවන් ගිවිසුමකට එළැඹීමට නොහැකි වීම නිසා ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කරන 2003 පෙබරවාරි 7 ගිවිසුම බලාත්මක නොවන බවයි කබීර් හෂීම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

එවැනි අවබෝධතා ගිවිසුමක් පිළිබඳව එම ගිවිසුමේ සදහනක් නොමැති බව ඊට පිළිතුරු ලෙස සඳහන් කළ ගම්මන්පිල අමාත්‍යවරයා එවැනි ගිවිසුමක් තිබේ නම් පෙන්වන ලෙස කිරිඇල්ල හා හෂීම් මන්ත්‍රීවරුන්ට අභියෝගද කළා.

අභියෝගයට ප්‍රතිචාර

ඊට ප්‍රතිඅභියෝගයක් කරමින් කබීර් හෂීම් මහතා ගම්මන්පිල අමාත්‍යවරයා අමතා සඳහන් කළේ ඔහු කියවන ගිවිසුම හැකිනම් සභාගත කරන ලෙසටයි.

එම අභියෝගය පිළිගත් ගම්මන්පිල අමාත්‍යවරයා තමා එය සභාගත කරන බව සඳහන් කළ අතර කිරිඇල්ල හා හෂීම් මන්ත්‍රීවරුන් කියන ගිවිසුමද අද (6) සභාගත කරන ලෙසට ප්‍රකාශ කලා.

මෙම විවාදයට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාද මැදිහත් වී ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ කිරිඇල්ල හා හෂීම් මහත්වරු කියන ආකාරයේ අවබෝධතා ගිවිසුමක් පිළිබඳව ඉන් සඳහන්ව තිබෙනවාද යන්නය.

ජයසේකර මහතාගෙන් පසු සමගි ජන බලවේගයේ මනුෂ නානායක්කාර මහතාද එම විවාදයට මැදිහත් වෙමින් සඳහන් කළේ ත්‍රිකුනාමල තෙල් ටැංකි වල ඇත්ත කතාව ඊයේ (5) හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත වත්මන් රාජ්‍ය අමාත්‍යවරයා රූපවාහිනී වැඩසටහනකදී වැඩසටහනක දී සඳහන් කළ බවයි.

සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අදහස් හා සසඳද්දී ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ සම්පූර්ණ බොරුවක් බවයි නානායක්කාර මහතා පෙන්වා දුන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 12:17