March 29, 2024

මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් පාර්ලිමේන්තු එන්න දෙයි! කෑම කන්න භෝජනාගාරයත් විවෘත කරයි

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය ලබන 01 වැනිදා සිට විවෘත කර තිබෙනවා.

ඒ පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්ද ලබා දී ඇතැයි වාර්තා වනවා.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා ලබන 01 වැනිදා සිට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට  පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

මේ අවස්ථාව සලසාදී ඇත්තේ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරිද ඉදිරියේදී ඉතා සීමිත පිරිසක් සඳහා විවෘත කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

ශෝක යෝජනා විවාදයන් පැවැත්වෙන අවස්ථාවන්හි එම විවාද දැක බලා ගැනීම සඳහා දැනට අවස්ථාව සලසා දෙන්නේ මියගිය මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පවුල්වල සාමාජිකයන් පස්දෙනෙකුට පමණයි.

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

දැනට පාර්ලිමේන්තුවේ විවෘත කර පවතින්නේ මාධ්‍ය ගැලරිය පමණි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 March 2022 14:34