April 25, 2024

රනිල්ගෙන් රිෂාඩ්ට ඇමක් : කිරිඇල්ලත් සහයට එයි

සමගි ජන බලවේගය නියෝජනය කරන රිෂාඩ් බදුදීන් මහතාව අත් අඩංගුවෙන් නිදහස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කලා.

ඒ බදුදීන් මහතා දිගින් දිගටම අත් අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින්.

කරුණු සහිතව ප්‍රශ්න කිරීම

බදුදීන් මහතා සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රශ්න කළේ ඊට අදාළ යම් යම් කරුණු ද පෙන්වා දෙමින්.

රිෂාඩ් බදුදීන් මහතාව අත් අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් වූ නීති රීති මත වුවත් දැන් රඳවාගෙන සිටින්නේ නඩුවකට ඇඟිලි ගැසීමේ චෝදනාවකට බවයි වික්‍රමසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

මේ වන විට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා චූදිතයන් පිරිසක් නම් කර ඇති බවද පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ නම් අතර බදුදීන් මහතාගේ නම නැති බවයි සඳහන් කරන්නේ.

මන්ත්‍රී වරප්‍රසාද

බදුදීන් මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් බැවින් ඔහුව මෙසේ අත් අඩංගුවේ තබා ගැනීම පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් බවයි වික්‍රමසිංහ මහතාගේ මතය වන්නේ.

එනිසා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බදුදීන් මහතාට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසීමක් කරන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කලා.

එසේ කොට බදුදීන් මහතාට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය සාක්ෂි තිබේ නම් නඩු පවරන ලෙසත් ඉල්ලා සිටි වික්‍රමසිංහ මහතා බදුදීන් මහතාව අඩංගුවෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසටයි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ සහාය

ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතාගේ සහයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද පැමිණීම විශේෂත්වයක්.

ඔහුද කියා සිටියේ හිටපු අගමැතිවරයා කියන්නේ ඉතා නිවැරදි දෙයක් බවත් බදුදීන් මහතා අත් අඩංගුවේ තබා ගැනීම ගැන කතානායකවරයා සොයා බැලිය යුතු බවත්ය.

කතානායකවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ තම ඒ ගැන සොයා බලා තිබෙන බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 13:01