April 26, 2024

ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් මල්වතු නාහිමියන් බැහැදකී! දේශපාලනඥයින්ට එන්න එපා කිව්ව හේතුව මහ නාහිමි කියයි

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින ජනතාව ඉල්ලා සිටින දේ තේරුම් ගෙන පාලකයින් ඊට විසඳුම් ලබාදිය යුතු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් පවසනවා.

මෙම ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් දේශපාලනඥයින්ට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවස්ථාව ලබා නොදීමට තීරණය කළේ ඒ නිසා බවද උන්වහන්සේ පැවසුවා.

ගෝල්ෆේස් අරගල භූමියේ තරුණ පිරිසක් ඊයේ (03) මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමියෝ මේ බව සඳහන් කළා.

දිමුතු බඹරදෙණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබුණා.

ඔවුන් අරගලකරුවන්ගේ අරමුණු හා සම්බන්ධ යෝජනාවලියක්ද මහනාහිමියන්ට පිළිගැන්වූවා.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ශ්‍රී ලාංකිකයින් ලෙස ජාති, ආගම් බේදයෙන් තොරව ඉල්ලා සිටින දේ කුමක්ද යන්න පාලකයින් තේරුම්ගත යුතු බවයි මහ නාහිමියන් පෙන්වා දුන්නේ.

එසේ නොකර ඔවුන් අතර බේද ඇති කිරීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද මහනාහිමියන් සඳහන් කළා. 

මෙහිදී අරගලයේ යෙදෙන පිරිස සඳහන් කළේ දේශපාලනඥයින්ට තමන් වහන්සේ බැහැදැකීමට අවස්ථාව නොදෙන බවට මල්වතු මහනාහිමියන් කළ ප්රකාශය අරගල භූමියේ සිටින ජනතාවට යෝධ ශක්තියක් වූ බවයි. 

ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව සිටින ජනතාව කැපකිරීම් කරනු ලබන්නේ පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොවන මේ රටේ එක්කෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ඔවුන් මෙම අරගලය දියත්කර තිබෙන බවද එම පිරිස වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)