May 06, 2024

ගෑස් වැඩේ චොර වෙයි : පොලීසියක් ගෑස් වෙළඳාමට බහී

ගෑස් ප්‍රශ්නය උඩු දුවා තිබෙනවා.

තත්ත්වය කෙතරම් බරපතලද යත් මේ වන විට ගෑස් සිලින්ඩර මුදලට අලෙවි කිරීම සඳහා පොලිසියටත් මැදිහත් වීමට සිදුව තිබෙනවා.

ලොරිය පොලිසිය තුළට

ඒ ගෑස් අලෙවි කරන්නන්ට ගෑස් සිලින්ඩර මුදලට ඉල්ලා පාරිභෝගිකයන්ගෙන් එල්ලවන දැඩි බලපෑම නිසා.

එවන් තත්ත්වයක් හේතුවෙන් අම්බලන්ගොඩ පොලිසිය ගෑස් බෙදා හැරීමේ කටයුතු වල නියැලී සිටින බවයි වාර්තා වන්නේ.

අම්බලන්ගොඩ පොලිසිය ගෑස් සිලින්ඩර සහිත ලොරිය පොලිසිය තුළට ගෙන මුදලට ගෑස් අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

අලෙවිකරුවන්ගේ ඉල්ලීම

එසේ කරන ලද්දේ එම ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතවරයාගේ ඉල්ලීමකට අනුව බවයි අම්බලන්ගොඩ පොලිසිය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව උදෑසන සිටම ගෑස් සිලින්ඩර මිලට ගැනීම සඳහා හිස් ගෑස් සිලින්ඩර ද සමග පාරිභෝගිකයන් අම්බලන්ගොඩ පොලීසිය අසලට එක් රැස්වුණා.

එහිදී එතැන සිටි එක් පාරිභෝගිකයෙක් බිම වැටීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමටත් පියවර ගෙන තිබුණු බවයි දැනගන්නට තිබෙන්නේ.

එම ස්ථානයේ සිටි පාරිභෝගිකයින් ගෑස් හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කරන අයුරුද දක්නට ලැබුණා.

මීට පෙර ගෑස් සිලින්ඩර සහිත ලොරි මහ මග නතර කර එහි තිබෙන ගෑස් සිලින්ඩර රැගෙන ගිය සිද්ධීන්ද වාර්තා වුනා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 16:29