May 06, 2024

කෝලිට විරුද්ධව තවත් ක්‍රීඩකයන් දෙදෙනකු පෙරට : එක්දින නායකත්වයත් නැති වන ලකුණු

September 30, 2021

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට එරෙහි සෙසු ක්‍රීඩකයින්ගේ කැරැල්ල දුරදිග ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසා කෝලිට ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය පමණක් නොව එක්දින කණ්ඩායමේ නායකත්වයද අහිමි වන තත්ත්වයක් උදා වී ඇති බවත් එම මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

ක්‍රීඩකයන්ගෙන් පැමිණිලි

විරාත් කෝලිගේ නායකත්වය යටතේ තමන්ගේ අනාගතය අවිනිශ්චිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට රවිචන්ද්‍රන් අශ්වින් පැමිණිලි කොට තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

දැන් ඒ අතරට තවත් නම් දෙකක් ද ඇතුළත් වී තිබෙනවා.

ඒ පිතිකරුවන් වන චේතස්වර් පූජාරා සහ ටෙස්ට් කණ්ඩායමේ උප නායක අජේකන් රහනේගේ නම්.

ජේෂ්ඨයන් වන එම ක්‍රීඩකයන් දෙපළද විරාත් කෝලිගේ හැසිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වෙත පැමිණිලි කර තිබෙන බවත් හෙලිදරව්ව තිබෙනවා.

තරඟයේ පරාජය

මේ සියලු ප්‍රශ්න වලට මුල වී තිබෙන්නේ ඉකුත් ජූනි මස එංගලන්තයේ පැවති ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා අවසාන මහා තරගයේදී ඉන්දියාව ලැබූ පරාජයයි.

නවසීලන්තය සමඟ පැවති එම තරඟයෙන් ඉන්දියාව පරාජය වීමෙන් පසු එම තරඟයේදී එක්තරා ජේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ දායකත්වය ප්‍රමාණවත් නොවන බව කෝලි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණා.

නම නොකිව්වට ඒ අශ්වින් සම්බන්ධයෙන් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

තරග පරාජයෙන් පසු

එම තරගය පරාජය වීමෙන් පසු වූ කෝලි , පූජාරා සහ රහනේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කාමරය තුළට ගෙන ඔවුනට දොස් කියා ඇති බව දැන් ප්‍රසිද්ධ වී තිබෙනවා.

ඒ ඔවුන් දෙපළ ඉන්දීය දෙවැනි ඉනිමේදී පිත්තෙන් දැක්වූ දුර්වලතා නිසා.

මේ සිද්ධි පෙළ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම තරඟයට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන්ද තොරතුරු ඒකරාශී කරගෙන තිබෙනවා.

ගෞරවය බිඳ වැටීම

ඒ අනුව කෝලිට ජාතික ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ තිබෙන ගෞරවය දැන් නැති වී ඇති බවටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු එම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව කෝලි මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.

ඒත් තමා දිගටම ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටින බව කෝලි ප්‍රකාශ කර තිබෙනවා.

එක් දින නායකත්වය

එහෙත් ඉන්දීය මාධ්‍ය ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ පමණක් නොව එක්දින කණ්ඩායමේ නායකත්වයද කෝලිගෙන් ඉවත්කර රෝහිත් ෂර්මා වෙත පැවරීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

විශේෂයෙන්ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ඉන්දියානු කණ්ඩායම තේරීමේදී ඇතැම් ක්‍රීඩකයන් පිළිබඳ කෝලිගේ විරෝධය ගණන් නොගෙන තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් තේරීමට ඉන්දීය තේරීම් කමිටුවට කටයුතු කර තිබෙනවා.

තේරීම් කමිටුව

ශිකාර් දවාන් සහ යජුවේන්ද්‍ර චහහල් යන ක්‍රීඩකයන් දෙදෙනා තමන්ට අවශ්‍ය බව කෝලි තේරීම් කමිටුවට දන්වා ඇති මුත් ඊට තේරීම් කමිටුව එකඟ වී නැහැ.

මේ හේතුවෙන් කෝලි හා තේරීම් කමිටුවේ සාමාජිකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ බව වාර්තා වනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 October 2021 09:11