May 06, 2024

කෝලිගේ මූඩ් එක අවුල් කළ අශ්වින් හලපු ප්‍රශ්නය

September 03, 2021

මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර 4 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වී තිබෙන්නේ.

රටවල් දෙකම තරග 1 බැගින් ජයග්‍රහණය කර තිබෙන නිසා මේ තරගය ඉතා තීරණාත්මකයි.

එම තරගයට ඉන්දියානු කණ්ඩායමේ සිටින දක්ෂතම දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළ කළා.

හිටපු ඉන්දීය පිතිකරුවෙකු වන වී.වී.එස්. ලක්ෂ්මන්ද ඒ අතර වනවා.

කැපිල්ලට හේතුව

එහෙත් මේ තරගයටත් අශ්වින්ව තෝරා ගෙන තිබුණේ නැහැ.

තරගයේ කාසියේ වාසිය විමසීමෙන් පසු නායක විරාත් කෝලිගෙන් විස්තර විචාරකයා අහපු දෙවැනි ප්‍රශ්නය වුණේ අශ්වින් නැත්තෙ ඇයි කියන එකයි.

මේ ප්‍රශ්නය අහපු ගමන් නායක කෝලිගේ මුහුණ වෙනස් වුණා.

ඔහු කිව්වේ එංගලන්ත කණ්ඩායමේ වමත් පිතිකරුවන් 4 දෙනකු සිටින නිසා මද වේග පන්දු යවන තකූර්ව කණ්ඩායමට එක්කර ගත් බවයි.

ඒ කිව්වෙත් ඇඟට පතට නොදැනී.

එතකොට ඉතිරි දකුණත් පිතිකරුවන් 7දෙනාගේ කඩු ලබාගැනීමට බලාපොරොත්තුවක් නැද්දැයි විස්තර විචාරකයාට කෝලිගෙන් අහන්න තිබ්බා.

එහෙත් ඔහු එහෙම ඇහුවේ නැහැ.

කලක පටන් දාන කැපිල්ල

කලක පටන් විරාත් කෝලි , අශ්වින්ට කැපිල්ලක් දාන බව නම් ප්‍රකට කරුණක්.

කිසි විටෙකත් අශ්වින්ට කණ්ඩායම තුළ ස්ථාවර වීමට කෝලි ඉඩ දෙන්නේ නැහැ.

ඒකට හේතුව නම් දන්නේ නැහැ.

කෝලි හැමවිටම දඟ පන්දු යවන රවින්ද්‍ර ජඩේජාට අවස්ථාව ලබාදීමටයි කටයුතු කරන්නේ.

අශ්වින් අවසාන වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ එංගලන්තයේදී.

ඒ ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් තරඟය සඳහා නවසීලන්තයට එරෙහිව.

එහිදීද අශ්වින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

පළමු ඉනිමේ දී ලකුණු 28කට කඩුලු 2කුත් , දෙවැනි ඉනිමේදී ලකුණු 17 කට කඩුලු 2කුත් ලබා ගැනීමට සමත් වුණා.

එංගලන්තය හුරු පුරුදු රටක්

එපමණක් නොවෙයි ඔහුට දැන් මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන එංගලන්තයේ හොඳට හුරුපුරුදු රටක්.

ඒ ඔහු එරට ප්‍රාන්ත දෙකක් වන nottinghamshare සහ worcestershire යන ප්‍රාන්ත වලටත් වෘත්තීයමය ලෙස ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයෙක් නිසා.

මේ මාසයේ 17 දින සිය 35 වැනි උපන් දිනය සැමරීමට නියමිත අශ්වින්ට දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එක් තරගයකටවත් අවස්ථාව ලබා නොදුන්නද ඔහු තවමත් සිටින්නේ ලෝක ටෙස්ට් දඟ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2වැනි ස්ථානයේ.

දක්ෂතම දග පන්දු යවන්නා

ඉන්දියාව ලොව දක්ෂතම දඟ පන්දු යවන්නන් රැසක් බිහි කලත් දත්ත වලට අනුව ඉන්දියාව බිහි බිහි කළ දක්ෂතම දඟ පන්දු යවන්නා අශ්වින්.

අශ්වින් මුලින්ම ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගි වූයේ 2011 වර්ෂයේ.

එදා පටන් ගෙවුණු දශකය තුළ ඔහු ටෙස්ට් තරග 79කට සහභාගි වී කඩුළු 413 ක් ලබාගෙන තිබෙනවා.සාමාන්‍ය 24.56යි.

ඒ කියන්නේ එක් ටෙස්ට් තරගයකදී අඩු 5 කටත් වඩා වැඩියෙන් ලබාගෙන තිබෙන්නේ.

එපමණක් නොව පිතිකරුවෙකු ලෙසත් දස්කම් දක්වා තිබෙනවා.

ඔහු එම ටෙස්ට් තරග 79දී ලකුණු 2685 රැස් කරගෙන තිබෙන්නේ ශතක 5 ක්ද සමගින්.එහි සාමාන්‍ය 27.68යි.

මුරලිදරන්ට ළඟා කිරීම

කවදා හෝ මුත්තයියා මුරලිදරන්ගේ ටෙස්ට් කඩුළු 800 වාර්තාවට ළඟාවිය හැකි එකම ක්‍රීඩකයා ලෙසයි අශ්වින්ව මීට කලකට ක්‍රීඩා විචාරකයන් හැඳින්වූයේ.

එහෙත් මේ ආකාරයට ඔහු ටෙස්ට් තරග වලින් ඉවත් කර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තැබීම මත එම ඉලක්කයට තබා ඒ ආසන්නයටවත් ළඟාවීමට බැහැ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 21:21