May 06, 2024

ඉන්දිය කණ්ඩායම දෙදරයි : කෝලිට එරෙහිව අශ්වින්ගෙන් පැමිණිල්ලක්

September 29, 2021

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ බරපතළ දෙදරීමක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ විරාත් කෝලිගේ නායකත්වය මුල්කරගෙන.

ක්‍රීඩකයන් දෙදෙනාගේ ගැටුම

මේ නිසා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නේවාසික කාමරයේ (DRESSING ROOM) තත්ත්වය එතරම් හොඳ නැති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

විරාත් කෝලි හා රවිචන්ද්‍රන් අශ්වින් අතර තිබෙන මෙම ගැටුම කණ්ඩායම තුළටද විහිදී ගොස් තිබෙනවා.

එංගලන්තයේ පැවති ලෝක ටෙස්ට් ශූරතා  අවසාන තරගයේදී ජේෂ්ඨ ක්‍රීඩකයෙකු ප්‍රමාණවත් තරම් සහයෝගය නොදුන් බවට කෝලි චෝදනා කර තිබුණා.

අදාල ක්‍රීඩකයාගේ නම ප්‍රකාශ නොකළත් ඒ අශ්වින් බවටයි වාර්තා වන්නේ.

නවසීලන්තය සමඟ පැවති එම තරඟය ඉන්දියාව පරාජය වුණා.

දිගින් දිගටම දැක්වූ ප්‍රතිචාරය

මේ නිසා එම තරගයෙන් පසු එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරට අශ්වින්ව ඇතුලත් කර නොගැනීමට නායක විරාත් කෝලි කටයුතු කළා.

ඒ වෙනුවට විරාත් කෝලි රවින්ද්‍ර ජඩේජා දිගින් දිගටම කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබුවා.

එංගලන්තය සමඟ පැවැති 4 වැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමට අශ්වින්ව ඇතුලත් කිරීමට පුහුණුකරු වූ රවි ශාස්ත්‍රිට අවශ්‍ය වුවත් ඊට කෝලි විරුද්ධ වූ බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ නිසා කෝලිගේ නායකත්වය යටතේ තමාගේ අනාගතය අවිනිශ්චිත බවට රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිලි කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

එළඹෙන විස්සයි විස්සයි ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම තෝරා ගැනීමේදී චේතන් ෂර්මාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව කෝලිගේ අදහස් නොවිමසාම තරගාවලියට සහභාගී වන කණ්ඩායම නම් කරනු ලැබුවා.

ඒ වන විට කෝලි සිටියේ එංගලන්තයේ.

එම කණ්ඩායමට රවිචන්ද්‍රන් අශ්වින්ව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණා.

නව නායකයාගේ මැදිහත් වීම

අශ්වින්ව කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා විරාත් කෝලිගෙන් පසු ඉන්දීය විස්සයි විස්සයි කණ්ඩායමේ නායකත්වය ගැනීමට නියමිත රෝහිත් ෂර්මා සෑහෙන වැඩ කොටසක් කර තිබෙන බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එළඹෙන විස්සයි විස්සයි ලෝක කුසලානයෙන් පසු කෝලී ඉන්දීය විස්සයි විස්සයි කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව මේ වන විටත් දැනුම්දී තිබෙන්නේ.

වාර්තා වලට අනුව රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියාව එතෙක් මෙතෙක් බිහි කළ දක්ෂතම ටෙස්ට් දඟ පන්දු යවන්නා ලෙසයි සැලකෙන්නේ.

35 වැනි වියේ පසුවන අශ්වින් මේ වන විට ටෙස්ට් තරග 79 කට සහභාගිවී කඩුළු 413 ක් බිඳ හෙලා තිබෙනවා.

මුත්තයියා මුරලිදරන්ගේ ටෙස්ට් කඩුළු 800 වාර්තාවට ළඟාවිය හැකි එකම ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන්නේත් අශ්වින්ව.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 September 2021 22:47