May 06, 2024

අද සිදුවූ 'ලොව ලොකුම වෙබ් බිඳවැටීමට' හේතුව හෙළිවෙයි

UPDATE: 2021-06-08 17:00

ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි රැසක්  (ශ්‍රී ලංකා වේලාවෙන්) අද (08) සවස බිඳවැටීමට ලක් වූවා.

අන්තර්ජාලය තුළ ජනප්‍රියතම සහ වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් අඩවි බොහොමයක් මෙහි බලපෑමට ලක්වූ අඩවි ලැයිස්තුවට ඇතුළත් වුණා.

ලොව ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවි මෙන්ම වානිජ වෙබ් අඩවි ද මීට අයත්.

මෙම තත්ත්වයත් සමග මෙය සයිබර් ප්‍රහාරයක්දැයි අන්තර්ජාලය තුළ දැඩිව කතාබහට ලක් වූවා.

කෙසේ වෙතත් මේවන විට පළවන වාර්තාවලට අනුව මෙම බිඳවැටීම පිටුපස කිසිදු ප්‍රහාරයක සාක්ෂි නොමැති බව පැවසෙනවා.

ලොව ප්‍රධාන වෙබ් අඩවි බොහොමයක් භාවිත කරන CDN (කන්ටෙන්ට් ඩිලිවරි නෙට්වර්ක්) සේවාවක්වන "Fastly"හි සිදුවූ දෝශයක් මෙම බිඳවැටීමට හේතු වී ඇති බවයි මේවන විට හෙළිදරව් වී ඇත්තේ.

මෙම දෝෂය හටගෙන පැයකට පමණ පසු එය නිරාකරණය කිරීමට Fastly සේවාව සමත් වූ බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත් තම සේවාවෙහි සිදුවූ දෝශය පිළිබඳව Fastly ආයතනය විසින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කොට තිබෙනවා.

'දි ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත් සේවාව මෙය වාර්තා කර ඇත්තේ "ලොව විශාලතම වෙබ්අඩවි බිඳවැටීම" ලෙසයි.

ලොව පුරා විවිධ රටවල්වල, එනම් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල් බොහොමයක පරිශීලකයින් හට මෙම වෙබ් අඩවි නොපෙන්වීම මත මෙය එක් රටකට සීමාවූ එකක් නොවන බව පෙනී යව බවත්, මෙය ජාත්‍යන්තරව සිදුවූ බලපෑමක් බවත් අන්තර්ජාල විශේෂඥයින් සඳහන් කරනවා.

බිඳවැටීමට ලක් වූ වෙබ් අඩවි අතර Reddit, Spotify, Twitch, Stack Overflow, GitHub, gov.uk, Hulu, HBO Max, Etsy, Quora, PayPal, Vimeo, Shopify, Stripe සහ Amazon වැනි දැවැන්තයන් ද සිටිනවා.

එමෙන්ම ලොව ප්‍රධානතම පුවත් වෙබ් අඩවිවන CNN, The Guardian, The New York Times, BBC සහ Financial Times ද මෙහි බලපෑමට ලක් වුණා.


ලොව ප්‍රධාන වෙබ් අඩවි රැසක් අක්‍රීයයි - ප්‍රහාරයක් ගැන සැකයක්

UPDATE: 2021-06-08 15:50

මීට සුළු මොහොතක සිට ලොව ප්‍රධානතම වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව වාර්තා වෙනවා.

ලොව ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවි මෙන්ම වානිජ වෙබ් අඩවි ද මීට අයත්.

ගාඩියන්, නිව්යෝක් ටයිම්ස් සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් වැනි පුවත් වෙබ් අඩවි ද මෙම තත්ත්වයට පත්ව තිබෙනවා.

ඊට අමතරව විවිධ කටයුතු සඳහා භාවිතවන ලොව ප්‍රධානතම වෙබ් අඩවිවන Reddit, Twitch, Amazon, Ebay, Vimeo, PayPal, Etsy, Shotify ඇතුළු වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව සඳහන්.

මෙයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මෙය සයිබර් ප්‍රහාරයක් නම් එය ලොව සිදුවූ දැවැන්තම සයිබර් ප්‍රහාරයක්වනු ඇති බවටයි විශේෂඥයින් පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 18:41