April 26, 2024

PornHub වීඩියෝවලින් කෝටි ගණන් සල්ලි හොයන ගුරුවරයා

පෝන්හබ් (PornHub) යනු අන්තර්ජාලය භාවිත කරන්නන් අතර අතිශය ජනප්‍රිය කාමෝද්දීපන වෙබ් අඩවියක්.

ලිංගික දර්ශන නැරඹීම සඳහා 2019 වසර තුළ එම වෙබ් අඩවියට පිවිස ඇති පුද්ගලයින් ගණන බිලියන 42ක් පමණවන බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඕනෑම අයෙකුට සිය වෙබ් අඩවිය තුළ ගිණුමක් නොමිලයේ නිර්මාණය කොට තම ලිංගික දර්ශන ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ ඉඩකඩ ද පෝන්හබ් සමාගම ලබා දී තිබෙනවා.

පෝන්හබ් සමාගම ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් මගින් සිය ලිංගික දර්ශන ප්‍රදර්ශනය කරන පුද්ගලයින්ට මුදල් ඉපයීමට ද හැකිවන පරිදියි එම සමාගම මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ.

වසරකට බිලියන ගණනක් පිවිසෙන නමුත් පෝන්හබ් වැනි කාමෝද්දීපන වෙබ් අඩවි පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේ කතා කිරීමටවත් අකමැති තරම්.

එවන් පසුබිමක පෝන්හබ් තුළ තම වීඩියෝ ප්‍රදර්ශනය කරමින් මේවන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ගුරුවරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

ඒ තායිවානයෙන්.

චංෂු නමැති මෙම ගණිත ගුරුවරයා සිය පෝන්හබ් ගිණුම හරහා සිය වීඩියෝ පට සිය ගණනක් ප්‍රදර්ශනයට තබා ඇති අතර ඒවායේ ඇත්තේ ඔබ සිතන ආකාරයේ දර්ශන නම් නොවෙයි.

ආධුනික ලිංගික දර්ශනයක් පෝන්හබ් වෙබ් අඩවියට උඩුගත (Upload) කළ පසු එම වීඩියෝවට මුලින් වාදනයවන පෝන්හබ් තේමා සංගීතය ද සහිතව ආරම්භවන චංෂුගේ වීඩියෝවන්හි ඇත්තේ ගණිතය පාඩම්.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ චංෂුගේ පෝන්හබ් පාඩම් හරහා නොමිලයේ ගණිතය ඉගෙනීමට මේවන විට සිසුන් බොහෝ පිරිසක් එක්ව සිටීම යි.

ඒ හරහා ඔහුගේ වීඩියෝවලට නැරඹුම්වාර මිලියණ ගණනක් ලැබී තිබීම ද විශේෂත්වයක්.

සිය පෝන්හබ් ගණිත පාඩම්වලින් චංෂු මේවන විට ලබන වාර්ශික ආදායම අති විශාල බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා රුපියල්වලින් එම මුදල මිලියන 50 ඉක්මවන බව යි පැවසෙන්නේ.

තමන්ගේ මූලික අරමුණ ගණිතය ඉගැන්වීම බවත්, තායිවානයේ හොඳම ගණිත ගුරුවරයා තමන් බව ලෝකයටම පෙන්වීමට තමන්ට අවැසි බවත් චංෂු පවසනවා.

කෙසේ වෙතත් ගණිතය ඉගෙනීමට පෝන්හබ් වෙත පිවිසීමට අකමැති සිසුන් සඳහා චංෂු යූටියුබ් නාලිකාවක් ද මේවන විට ආරම්භ කොට තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Saturday, 30 October 2021 06:41