April 27, 2024

ස්වර්ණමහල් තැන්පත්කරුවන්ව වෙනත් සමාගමකට මාරු කෙරේ

February 15, 2022

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. සමාගම යළි ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගම හා ඒකාබද්ධ වීමට එස්.එම්.බී. ලීසිං සමාගම වෙත මූල්‍ය බලපත්‍රයක් නිකුක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

එලෙස ඒකාබද්ධ වීම හරහා තැන්පත්කරුවන්ගේ බැරකම් පියවීමට සහ අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගම සතු රුපියල් මිලියන 425.32ක වත්කම් මිලදී ගැනීමට යි එස්.එම්.බී. ලීසිං සමාගම පියවර ගෙන ඇත්තේ.

එස්.එම්.බී. ලීසිං සමාගම විසින් මේ පිළිබඳව පසුගිය දා කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් සඳහන් කර ඇත්තේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම යටතේ ඉහත පියවර ගෙන ඇති බවයි.

ස්වර්ණමහල් මූල්‍ය සමාගම හා එස්.එම්.බී. ලීසිං සමාගම ඒකාබද්ධ කිරීමේ කාර්යය සිදුකර ඇත්තේ, අක්‍රිය වූ මූල්‍ය සමාගම් පුනර්ජීවනය කිරීම හා බැංකු නොවන මූල්‍ය සමාගම් අංශය ඒකාබද්ධ කිරීම සඳහා මහ බැංකුව විසින් දියත් කර ඇති අඛණ්ඩ වැඩපිළිවෙළට අනුව යි.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් සමාගම්වල අක්‍රමිකතා සිදුවී ඇති බවට 2011 සිට මහත් ආන්දොලනාත්මකව කතා බහට ලක් වූවා.

පසුව එම එම සමාගමේ ඉතිරිකිරීම් ගිණුම්වල මුදල් තැන්පත්කරුවන්ට තම මුදල් ලබා ගැනීමට නොහැකි වූයේ ව්‍යාපාර පිරිහීම හේතුවෙන්. 

සිය මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් තැම්පත්කරුවන් විරෝධතා ව්‍යාපාරවල ද නිරත වූවා.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊ.ටී.අයි. ෆිනෑන්ෂල් සමාගමේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ද සිදු වූ අතර පසුව ඔවුන් සතු ඊඒපී මාධ්‍ය ජාලයත්, ඊඒපී චිත්‍රපට සමාගමත් ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනයත් විදේශ හා දේශීය සමාගම් දෙකකට විකුණා දමා ඇතැයි වාර්තා වූවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 10:18