May 08, 2024

මාව පරාජය කළේ ඔය සිරිසේන: හිටපු මහ ඇමතිගෙන් චෝදනා

February 15, 2022

මෛත්‍රිපාල සිරිසේන මහතා නායකයා ලෙස සිටින තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නැති බව පේෂළ ජයරත්න මහතා හෙළිදරව් කරනවා.

ඔහු එසේ සඳහන් කරන්නේ සිරිසේන මහතාට චෝදනා රාශියක්ද එල්ල කරමින්.

පරාජයට කටයුතු කිරීම

පසුගිය මහ මැතිවරණයේදී තමාව පරාජය කිරීමට සිරිසේන මහතා කටයුතු කළ බවට ඔහු චෝදනා කරන්නේ ඊට බල පෑ හේතුන්ද පෙන්වා දෙමින්.

එම මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී.ල.නි.පයට අපේක්ෂක ධුර දෙකක් ලැබුණු බවත් ඒ සඳහා ඉදිරිපත් වූයේ සිරිසේන මහතා සහ තමන් බව ජයරත්න මහතා අවධාරණය කරනවා.

එහිදී ශ්‍රී.ල.නි.පයෙන් ඉදිරිපත් වූ අන් අපේක්ෂකයා වන තමාව ජයග්‍රහනය කරවීමට සහාය දීම සිරිසේන මහතාගේ යුතුකමක් වුවද ඔහු එය මගහැරී බවයි ජයරත්න මහතා අනාවරණය කරන්නේ.

පස් වතාවක් යෝජනා කිරීම

දෙදෙනා එකට මැතිවරණ ව්‍යාපාරය කරමු යැයි තමා 5 වතාවක් සිරිසේන මහතා මුණගැසී යෝජනා කළද සිරිසේන මහතා එය තැකීමකට ලක් නොකළ බවයි ඔහු සඳහන් කරන්නේ.

සිරිසේන මහතාට පොළොන්නරු දිස්ත්‍රික්කයේ තනි මනාප 60000 කට වඩා ලැබුණු බව සඳහන් කරන ජයරත්න මහතා ඉන් අඩක් එනම් මනාප 30000 ක් තමාට ලබා දීමට සිරිසේන මහතාට හැකියාව තිබූ මුත් ඔහු එය මගහැරී බව ජයරත්න මහතා පෙන්වා දෙනවා.

සිරිසේන මහතාගේ ගති ලක්ෂණ නිසා ඔහු සමග කිසිවකු දිගුකලක් දේශපාලනය නොකරන බවත් සඳහන් කරන ජයරත්න මහතා තමා ඔහු සමග බොහෝ කාලයක් දේශපාලනය කලේ සිරිසේන මහතා තමාගේ දේශපාලන ගුරුවරයා ලෙස සලකා දැඩි ඉවසීමෙන් බවද පෙන්වා දෙමින්.

හිටපු මහ ඇමති

හිටපු ජනපති සිරිසේන මහතාගේ ඉතා කිට්ටු සමීපතයෙකු ලෙස හැඳින්වුණු ජයරත්න මහතා හිටපු උතුරු මැද පළාත් මහ ඇමතිවරයාද වනවා.

ඔහු මේ කරුණු හෙළි කළේ පුද්ගලික රූපවාහිනී සේවයක ජනප්‍රිය වැඩ සටහනක් සමග එක්වෙමින්.

පේෂළ ජයරත්න මහතා මේ වන විට ශ්‍රී.ල.නි.පය සමග සබඳතා අතහැර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ගොඩ නගා තිබෙන නව ශ්‍රී ලංකා පක්ෂයක් සමඟ සම්බන්ධ වී වැඩ කටයුතු කරනවා.

Rate this item
(1 Vote)