May 08, 2024

එකම පුරුෂයෙකුට පෙම් කළ කතුන් දෙදෙනෙකු වැලන්ටයින් දා ගෙල වැළලාගනී

February 15, 2022

ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ඊයේ (14) දිනට යෙදී තිබුණා.

ආදරය පදනම් කොටගෙන සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් පිළිබඳ පුවතක් ද ඊයේ දින වාර්තා වූයේ ලොව පුරා ආදරය සමරමින් සිටිය දියි.

පිළියන්දල ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වූ අතර එක් පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනෙකු එහි දී ගෙල වැළලාගෙන තිබුණා.

එලෙස ගෙල වැළලා ගත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් ඇති බවත්, අනෙක් කාන්තාව මේවන විට කලුබෝවිල රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් වාර්තා වූවා.

මෙම කාන්තාවන් දෙදෙනා ආදරය කොට ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකුටවන අතර මියගොස් ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක්.

අනෙක් කාන්තාව 32 හැවිරිදි තැනැත්තියක බව පොලීසිය පැවසුවා.

60 හැවිරිදි කාන්තාවගේ සැමියා මීට වසර 15කට පමණ ඉහත කාලයේ දී මියගොස් ඇති බවත් එවකට ඇය 25 හැවිරිදි තරුණයෙකු සමග ඇසුරක් අරඹා ඇති බවත් වාර්තා වනවා.

එම සබඳතාව වර්ධනය වීමෙන් අනතුරුව අදාළ තරුණයා තමන් වෙත තවදුරටත් ආකර්ශනය කර ගැනීමට තමන් සතු සියළු දේපල ඔහු වෙත ලිවීමට එම කාන්තාව කටයුතු යොදා ඇති බව පැවසෙනවා.

ඉන් අනතුරුව එම දෙදෙනා වසර ගණනාවක් එකට දිවි ගෙවා තිබෙනවා.

අදාළ තැනැත්තාගේ වයස මේවන විට 40ක් පමණවන අතර ඔහු සමග දිවි ගෙවූ කාන්තාව මේවන විට පසුවන්නේ 60 හැවිරිදි වියේ යි. 

මේ අතර අදාළ පුද්ගලයා 32 හැවිරිදි කාන්තාවක් සමග විවාහ වී ඇති බව මීට දින කිහිපයකට පෙර 60 හැවිරිදි කාන්තාවට අසන්නට ලැබී තිබෙනවා.

ඉන් සිත් තැවුලට පත් එම කාන්තාව සිය නිවසේ දී ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බව සඳහන්.

එම සිදුවීම සැළවීමෙන් අනතුරුව සිය සැමියා තවත් කාන්තාවක සමග දිවි ගෙවා ඇති බව දැනගැනීමෙන් පසු 32 හැවිරිදි කාන්තාව ද ගෙල වැළලාගෙන සිය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බව යි වාර්තා වූයේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 February 2022 08:13