April 26, 2024

ගැසට්ටුවකින් තවත් දෙයක මිල ඉහළට! වැඩි කළ මිලෙන් ඩොලර් ලැබෙයිලු!

February 07, 2022

දේශීයව බෝතල් කළ පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් වූවා.

එම ගැසට් නිවේදනයට පසු මෙරට පානීය ජල බෝතල් මිල මේවන විට ඉහළ ගොස් ඇති බව යි ඒෂියන් මිරර් වෙත වාර්තා වන්නේ.

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බෝතල් කරන ලද පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමය විසින් පසුගිය දා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කොට තිබුණා.

අදාළ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් නිකුත් කළේ එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යි.

නැව් ගාස්තු මෙන්ම ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල වැඩි වීම හේතුවෙන් කර්මාන්තයේ පිරි වැය ඉහළ ගොස් ඇති බව අදාළ සංගමය පෙන්වා දී තිබුණා.

මිල වැඩිවෙන හැටි

ජල බෝතල් මිල වැඩි වීමත් සමග රුපියල් 35ක මුදලකට අළෙවි වූ මිලි ලීටර 500 ජල බෝතලයක මිල රුපියල් 15කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එම බෝතලයේ නව මිල රුපියල් 50 ක්.

එමෙන්ම රුපියල් 50කට අළෙවි වූ ලීටරයේ ජල බෝතලයක මිල ඉහළ රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 70ක් වනවා.

ලීටර 1.5ක ජල බෝතලයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 15කින්.

මීට පෙර රුපියල් 75කට අළෙවි වූ එම බෝතලයෙහි නව මිල රුපියල් 90ක් වී තිබෙනවා.

තව ද ලීටර 5 ජල බෝතලයක මිල රුපියල් 200 දක්වා ඉහළ නංවා ඇති අතර ලීටර 7 ජල බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 240 දක්වා යි.

මිල වැඩිවීමෙන් ඩොලර් ලැබෙයිලු

මේ අතර ශ්‍රී ලංකා බෝතල් කරන ලද පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති උපුල් සෙනරත් මහතා මෙම මිල සංශෝධන සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙම මිල වැඩිවීම තුළින් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ආදායම ඉහළ යන බව යි.

මෙරට බෝතල් කළ පානීය ජලය වැඩි වශයෙන්ම භාවිත වන්නේ සංචාරක කර්මාන්තය තුළ දී වීම මත එලෙස ඩොලර් ආදායම ඉහළයනු ඇති බව යි ඔහු සඳහන් කළේ.

ඉදිරියේ දී මෙම මිල සංශෝධනය දේශීය කර්මාන්තකරුවාටත් මෙරට ඩොලර් ආදාමයටත් සුබදායී ලෙස බලපානු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 08 February 2022 07:25