May 07, 2024

රේගුවේ හිරවුණු භාණ්ඩ නිදහස් කරන්න ජනපතිගෙන් උපදෙස් - බැසිල්ගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් Featured

February 08, 2022

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹිණි.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළා.

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ ඊයේ (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙස නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කුඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැගවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස  දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරීය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 07:53