May 17, 2024

ගෑස් නැවේ ප්‍රමිති වාර්තාව එයි - ඒත් තවමත් ගෑස් පෝලිම්

වෙළඳපොලේ තවදුරටත් පවතින ගෑස් හිඟයට පිලියමක් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් රැගත් නෞකා දෙකක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා.

අදාළ නෞකා දෙක උස්වැටකෙයියාව ප්‍රදේශය නැංගුරම්ලා ඇති අතර එම ගෑස් වල ප්‍රමිතිය පරික්ෂා කිරීම සඳහා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් එහි සාම්පල ලබා ගෙන තිබුණා.

නියමිත ප්‍රමිතිය තහවුරු වීමත් සමග ලිට්‍රෝ සමාගම මෙරටට ගෙන්වූ ගෑස් නෞකා දෙකෙන් එක් නැවක පවතින ගෑස් ගොඩබෑම සඳහා අවසර හිමි වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ, අනෙක් නෞකාවේ සාම්පල වාර්තා මෙතෙක් නිකුත් වී නොමැති බවයි.

එසේම ලබන සතිය වන විට ලාෆ් සමාගමට අයත් ගෑස් නෞකාවක් ද දිවයිනට පැමිණිමට නියමිත ව තිබෙනවා.

මේ අතර, ගෑස් මිලදී ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව අදත් පෝලිම්වල රැදී සිටිනවා.

එහි දී ඔවුන් චෝදනා කළේ, පෝලිම්වල සිටින ඇතැමුන් ගෑස් මිල දී ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවන බවයි.

පවතින තත්ත්වය හමුවේ වෙළඳපොලේ වළං මිලද ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.

තවදුරටත් බොහෝ දෙනා භූමිතෙල් භාවිතය කෙරෙහි ද යොමු වී ඇත්තේ පවතින ගෑස් අර්බුදය හමුවේයි.

Rate this item
(0 votes)