May 21, 2024

විදුලි කප්පාදුවට වෙලාව තීන්දුයි Featured

පසුගිය දින කිහිපයේ සිට වරින් වර සිදුවන විදුලිය විසන්ධි වීම් හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුණා.

මෙවන් පසුබිමක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා ඇත්තේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ජාවට විදුලිබල, බලශක්ති, ප්‍රවාහන ඇතුළු විෂය පථයන් කිහිපයකට සම්බන්ධ අමාත්‍යවරුන් මෙන්ම එම අමාත්‍යංශවල ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් ද කැඳවා ඇති බව වාර්තා වෙනවා.

එහිදී විදුලි සැපයුම සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ජා කිරීමෙන් පසු එම තීරණ අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

මේ අනුව පවතින අර්බුධ හමුවේ අවශ්‍ය ඉන්ධන නොලැබේ නම් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීම කෙරෙහි විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුව තිබුණා.

විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ උදෑසන 11.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි.

මීට අමතරව පස්වරු 6.00 සිට 9.00 දක්වා කාල සීමාව තුළ විනාඩි 45 බැගින් අවස්ථා දෙකකදී විදුලිය කප්පාදු කිරීම ගැන අවධානය යොමුව තිබෙනවා.

කෙසේවෙතත් බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට අද පෙරවරු 10.00 සිට විදුලිය විසන්ධි කර ඇතැයි එහි ව්‍යාපාරිකයින් පවසනවා.

ඇතැම් වෙළෙඳසැල්වල විදුලි ජනන යන්ත්‍ර ක්‍රියත්මක කර තිබු ආකාරය දක්නට ලැබුණා.

Rate this item
(0 votes)