May 02, 2024

ගෑස් අර්බුධය වාසියක් වූ පිරිසක් Featured

ගෑස් ආශ්‍රිත පිපිරීම් හේතුවෙන් මෙරට විශාල පිරිසක් දැඩි අපහසුතාවට ලක්වූ බව නොරහසක්. 

මෙරට ජනතාව මේ දිනවල ජිවිතයේ වැඩි හරියක් ගත කරන්නේ පෝලිම්වල. ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, භුමිතෙල් පෝලිම් සහ සහල් පෝලිම් ඒ අතර ප්‍රධාන වෙනවා. 

සමහර මිනිසුන් රැකියා වලින් නිවාඩු ගෙන මේ පෝලිම් වල රැඳී සිටින බව ද අප වාර්තාකරුවන් සඳහන් කළා. මෙලෙස අසිරුතාවයට පත් වූ ජනතාව දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළා.

කෙසේවෙතත් එවැනි පසුබිමක එම අර්බුදය හේතුවෙන් ආර්ථික වාසි හිමි වූ පිරිසක් පිළිබඳ වාර්තා වෙනවා.

කුරුණෑගල, ඉබ්බාගමුව, තිත්තවැල්ල යන ප්‍රදේශ පාරම්පරික මැටි කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන්නේ දීර්ඝ කාලයක සිටයි.

මැටි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් දිවි සරි කරගන්නා මෙම කර්මාන්තකරුවන්ට පසුගිය සමයේ දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූයේ, කොවිඩ් වසංගතය ඇතුළු තත්ත්වයන් හමුවේ සිය නිෂ්පාදන නිසි ලෙස අලෙවි කර ගත නොහැකි වීමෙන්.

කෙසේ වෙතත්, එම තත්ත්වය මගහැරී මේ වන විට මොවුන්ගේ කලදවස සරු වී තිබෙනවා.

ඒ ගෑස් අර්බුධයත් සමඟ මෙම කර්මාන්තකරුවන් නිෂ්පාදනය කරන මැටි උදුන් සදහා ඉහළ ඉල්ලුමක් හිමි වීමත් සමඟයි.

පසුගිය සමයේ ඇති වූ විවිධ ගැටළු හේතුවෙන් මැටි කර්මාන්තයෙන් ඉවත් වූ තරුණ පිරිස් ද මේ වන විට යලිත් එම කර්මාන්තයට යොමු වෙමින් පවතින බව නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

මෙම ගම්මානය ප්‍රධාන වශයෙන් වර්ග 4කින් මැටි ලිප් නිෂ්පාදනය කරන අතර දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉල්ලුම් ද ලැබී තිබෙනවා.

මැටි ලිප් සාදන්නන් මෙලෙස සිය අදහස් දක්වා සිටියා,

"අවුරුදු ගාණකට පස්සේ තමයි මෙහෙම වුණේ. නොවැම්බර් මාසේ වෙනකොට මේ ලිප තිබ්බේ 180ට. දැන් තමයි 450ට තොග මිල වැටිලා තියෙන්නේ. රටේ හැම පැත්තකින්ම එනවා. එක දිහාවකින් කියලා කියන්න බැහැ. හැම පැත්තකින්ම ඩබල් ලිප් හොයාගෙන එනවා. එන විදියට අපිට සැපයුම බැරි තරම්. ලිප් වර්ග 4ටම එක හා සමාන ඉල්ලුමක් තියෙනවා."

"අවුරුදු 30කට විතර පස්සේ තමයි මේ ලිපකට මේ වගේ මිල අධිකව යන්නේ. තිබ්බ මිලට වඩා දැන් මිල වැඩියි. මේ දවස්වල ඉල්ලුම තියෙනවා ලිපට. ඉල්ලුම තියෙන විදියට අපේ ගමේ අයට සපයා ගන්න අමාරුයි. අමුවෙන්ම ගෙනියන තරමට මින්ස්සු පුරුදු වෙලා තියෙන්නේ."

"ඉස්සර මාසෙකට පෝරණු දෙකක් වගේ තමයි වික්කේ. දැන් සතියකට දෙකක් දානවා අපි. ඒ දාලත් ඊයේ ගන්න බැහැ අපිට."


Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 15:55