May 06, 2024

පුපුරන ගෑස් ගන්න ජනතාවට වාසියක්

December 30, 2021

දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

එහිදී සිලින්ඩරය කිරා මැන බලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදු කරන බවද ලාෆ්ස් සමාගම පවසනවා.

මේ අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට සමාගම්වලට වගකීමක් තිබූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (තත්ත්ව ආරක්ෂණ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමගේ මහතා ඒ බව පැවසුවා.

මේ අතර ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවා.

ලිට්‍රෝ සමාගම මීට පෙර සාමාන්‍ය දිනකදී ගෑස් සිලින්ඩර 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට මුදාහරින බව කී එම නිලධාරියා ප්‍රමිතිය පිළිබඳව මතු වූ ගැටලුවත් සමඟ නිෂ්පාදන ධාරිතාව අඩකින් පමණ අඩුවී ඇති බව ද සඳහන් කළේ.

කිලෝ 5 සහ කිලෝ 2.3 සිලින්ඩරවලට ගෑස් පිරවීම ඉතාමත් අඩුවෙන් සිදුවීම නිසා කුඩා ප්‍රමාණයේ සිලින්ඩරවල හිඟය වැඩි බවත් ඉදිරි සති කීපයේදී මෙම තත්වය මගහැරෙනු ඇති බවත් එම නිලධාරියා පැවසුවා.

පැරණි ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායෙන් ගෑස් ඉවත් කිරීමට විශාල කාලයක් ගතවීම නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීමට හේතුවී ඇති බව පැවසූ එම නිලධාරියා පැරණි ගෑස් ඉවත් කිරීම සඳහා උපකරණ ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළා.

එමෙන්ම  ලිට්‍රෝ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා තවත් සති තුනක් පමණ ගතවන බවට ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

ඔහු කියා සිටින්නේ, වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සහ බෙදාහැරීම මේ වන විට සාමාන්‍යකරණය කරමින්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි.

මේ අතර පිටිගල නියාගම හා මානම්පිට ප්‍රදේශවල නිවෙස් දෙකකත්, බිබිල මැදගම බකිණිගහවෙල ප්‍රදේශයේ නිවසකත්, බගවන්තලාව චැපල්ටන් වතුයායේ නිවෙසකත් ගෑස් උදුන් පිපිරී ගොස් තිබුණා.

ගනේවත්ත තඹගල්ල ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප ඊයේ රාත්‍රියේ පිපිරී ගොස් තිබුණා.

ගෝනපීනුවල කලුවගහ ජනපදයේ නිවසක මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු අතර ඒ ගෑස් සිලින්ඩරය කාන්දුවීමෙන් ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 15:14