May 12, 2024

ගෑස් වාර්තාවෙන් ජනතාවට සහන ලැබෙයිද?

December 19, 2021

ප්‍රමිතිගත ගෑස් සැපයුමක් සිදු කිරීමට ගත යුතු දීර්ඝ කාලීන හා කෙටි කාලීන යෝජනාවලියක් ගෑස් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරිමට පත් කළ විශේෂඥ කමිටුව මගින් රජයට ඉදිරිපත් කරන බව වාර්තා වෙනවා.

මේ වනවිටත් අදාළ වාර්තාව සකස් කර අවසන් අතර හෙට (20) දිනයේ එය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෘහස්ථ මෙන්ම වෙළඳ හා විකිණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරා යාම් සහ ඒ සඳහා හේතු සාධක සොයා බලා කඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය නොවැම්බර් 30 වනදා කමිටුවක් පත්කළා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ මහාචාර්ය ඩී.ඩබ්ලිව්.ඩී. ජයතිලක මහතා ද ඇතුළත්.

මෙම කමිටුව මගින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පිපිරීම් සිදු වූ ස්ථාන ස්ථානීය පරීක්ෂණවල ලක් කරනු ලැබුවා. 

එහිදී සිදුකළ නිරීක්ෂණයන් විද්‍යාත්මක තහවුරු කිරීම් සමඟ සැසඳීමෙන් පසු නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සකස් කර තිබෙනවා.

කමිටුවේ පොදු අදහස වී ඇත්තේ ආයතන ගණනාවක් ගෑස් සැපයුම හා සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇති බවයි.

ඇතැම් යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවද විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ගෑස් සම්බන්ධ සිද්ධීන් 22 ක් ඊයේ (18) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය නොවැම්බර් මස 1  වෙනිදා සිට මේ දක්වා දින 47ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 792 ක් පොලිසියට වාර්තා වී තිබෙනවා.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදු වූ හානි  බවත් පොලිසිය කියයි.

අගලවත්ත ප්‍රදේශයේ ලාෆ් ගෑස් භාවිත කරන නිවසක ගෑස් සිලින්ඩරයට සම්බන්ධ නළය පුපුරා යාමෙන් 51 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කළා.

Rate this item
(0 votes)