May 13, 2024

ගෑස් පිපිරීමේ අවුල දුරදිග යයි - මියගිය අයගේ ඥාතීන් නඩු මඟට

December 14, 2021

පසුගිය මාස එකහමාරක කාලය තුළ දිවයින පුරා තැනින් තැන සිදුවන ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යෑම් බහුලව වාර්තා වුණා.

මහනුවර - කුණ්ඩසාල - නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩු ගොනු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි සිව්දරු මවක්. මාතලේ - විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එහිදී ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය හෝ කිසිදු වගකිවයුතු ආයතනයක් සොයා බැලීමක් සිදු කර නොමැති බවයි.

එමෙන්ම, කුරුවිට - බටුහේන ප්‍රදේශයේ ද ඊයේ පස්වරුවේ නිවසක ගෑස් ආශ්‍රිතව ඇති වූ සිදුවීමකින් 19 හැවිරිදි තරුණියක් ද තුවාල ලැබුවා.

මාතලේ හෙට්ටිපොළ ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන් පාසල් යැවීමේ පහසුව පිණිස කුලී පදනම මත නත්තරම්පොත ප‍්‍රදේශයේ නිවසට මෙයට මාස තුනකට පමණ පෙර පැමිණ තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය දිනවල මහනුවර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකම ගෑස් ළිප් පුපුරා යෑමේ සිදුවීම් වාර්තා වුණා.

එවැනි අනතුරකින් තුවාල ලැබ මහනුවර දිස්ත‍්‍රික්කයේ සිදු වූ ප‍්‍රථම මරණය මෙය බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

ගෑස් ළිප පිපිරීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් මෙයට පෙර ගෑස් ළිපක් පිපිරී මාතලේ දිස්ත‍්‍රික්කයේ එක් කාන්තාවක් මියගිය බවත් වාර්තා වී තිබෙනවා.

මේ අතර කුරුවිට බටුහේන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක්  පිපිරීමත් සමග  බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.

ඇයට බරපතල තුවාලයක් සිදුව නැති අතර රෝහල් ගතකර නැති බවද පොලීසිය පැවසුවේ. බටුහේන ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම තරුණිය කුලි පදනම මත නිවසේ පදිංචිව සිටී. ඇය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ අතර ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ සිලින්ඩර් පිපිරුම් සහ උපාංග හේතුවෙන් හෝ ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මරණය, ශාරීරික තුවාල හෝ හානියක් සිදුවූ බව ඔප්පු වුවහොත් ප්‍රතිලාභීන්ට වන්දි ලබා දිය හැකි රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කොට තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියනය දක්වා වූ වන්දි ලබා දීමට මෙම රක්ෂණ ක්‍රමය හරහා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබෙනවා.

පසුගිය මාස එකහමාරක කාලය තුළ, දිවයින පුරා කර්මාන්ත වාණිජ ආයතනවල මෙන්ම ගෘහස්ථ ගෘහ මට්ටමින් ගෑස් සිලින්ඩර පදනම් කරගත් පිපිරීම් මාලාවක් වාර්තා වුණා.

කෙසේවෙතත් දිගින් දිගටම මෙවැනි ගෑස් පිපිරීම් වාර්තා වන අවස්ථාවක ජනතාවට කාගේ පිහිටක්ද? ගෑස් පිපිරීම් තවත් ජිවිත කීයක් බිළි ගනීද? 

Rate this item
(0 votes)