May 02, 2024

සිමෙන්ති, ගෑස්, ඉන්ධන පෝලිම් අදත්

November 17, 2021

දින 50ක කාලයක් සඳහා තෙල් පිරිපහදුව වස දමන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශ කළ අතර ඒ අනුව ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් බියක් මතුව තිබෙනවා.

මේ අනුව පසුගිය දින දෙක තුනෙහිම කොළඹ තෙල් පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව පැවසුවේ රට තුළ පවතින අවිනිශ්චිත තත්ත්වය සමඟ ජනතාවට දුක් විඳීමට සිදුව ඇති බවයි.

මෙම කඩා වැටීම්වල කෙළවරක් නොපෙනෙන අතර ජනතාවට විඳීමට සිදුව තිබෙන දුෂ්කරතා ගැන කීමටද කිසිවෙකුත් නැති තත්ත්වයකට පත්ව තිබෙන බව ඔවුන් කියා සිටියා.

ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටි ජනතාව පළ කළ අදහස් මේ,

"තෙල් කොහෙවත් නෑ.. ඊයේ රෑත් නෑ.. , අද උදේත් නෑ. රැයක් දවාලක් නැතුව මෙහෙට ඇවිල්ලා රස්තියාදු වෙනවා. ඔච්චරයි කරපු හපන්කම. අපිටම දෙයියන්ගේ පිහිටයි කියාගන්න තමයි වෙන්නේ. ආයෙත් එයිනේ කාලයක්, එතකොට බලාගමු."

"තෙල් මෙහෙම අරන් යන්න වුණා. අපි දවසේ රස්සාව කරගන්නේ පෙට්‍රල් හින්දා. උදේ 5ට නැගිටලා ආවේ. ඡන්දෙත් දුන්නා, මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ."

"ඩීසල් ගන්න ආවට ඩීසල් නෑ ඉතිං. මුකුත්ම කරගන්න විදියක් නෑ."

"ඡන්දෙ දුන්නා පෝලිමේ, දැන් පෝලිමේ ඉන්නවා තෙල් ගන්න. තෙල් විතරක් නෙමෙයි අනිත් හැමදේම ගණන්."

මේ අතර ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, රට තුළ තෙල් හිඟයක් නොමැති බවයි.

ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් විවිධ බලවේග විසින් සිව්වන වරටත් ජනතාව රවටනු ලැබ  ඇතැයි, ද අමාත්‍යවරයා  එහිදී සඳහන් කළා.

”පසුගිය මාස පහේදි හතරවෙනි වතාවටත් විවිධ බලවේග විසින් රටට කිව්වා. ඉන්ධන හිගයක් ඇතිවෙනවා කියලා. ඒ අනුව අපේ රටේ ජනතාව කොරෝනා අවදානම නොතකා, ගං වතුර අවදානම නොතකා, පෝලීම් ගැහිලා හිටියා. ඉන්ධන ටික සපයාගන්න”

මේ අතර වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය පිළිම කර්මාන්තයට ද මේ වන විට බලපා තිබෙනවා. 

වසර 10කට අධික කාලයක් සිට බුදු පිළිම කලාවේ නිරත වන ඇල්ල කරදගොල්ල සහ වැල්ලවාය රන්දෙනිය ප්‍රදේශවල මේ කලාකරුවන් පවසන්නේ සිමෙන්ති අර්බුධය හමුවේ සිමෙන්ති අර්බුධය හේතුවෙන් සිය කර්මාන්තය අභාවයට යන බවයි.

බුදු පිළිම නෙලන්නන් මෙසේ සඳහන් කළා,

"එනවා මගෙන් අහනවා ඇයි පරක්කු කියලා. 1500කට 2000කටවත් සිමෙන්ති කොට්ටයක් නැහැ ගන්න දැන්. කලාකරුවන් වශයෙන් ඉතින් අපිට දැන් ඉන්නත් එපා වෙලා තියෙන්නේ. කර කන බඩු බැංකුවේ තියලා තමයි මේ සේරම කරන්නේ."

"කම්බි, තීන්ත හැමදෙයක්ම ඉහල ගිහිල්ලා තියෙන්නේ. සිමෙන්ති නැති කම හින්දා මාසයක් විතර අපි වැඩ කර ගන්න විදියක් නැතුව එනවා යනවා කරගන්න දෙයක් නැහැ. ඕඩර්ස් භාර දුන්නට අපිට කරගන්න විදියක් නැහැ. සිමෙන්ති ගණන් නිසා අපිට ගාණක් කියා ගන්න බැහැ කට්ටියට. අපි කියන ගණන් දරා ගන්න බැහැ ඒ කට්ටියට. නිදහසේ කලාව කරගෙන යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ."

මේ අතර තවමත් වෙළඳපොලේ ගෑස් හිඟයක් වාර්තා වන අතර අදත් ගෑස් වෙළඳසල් අසළ පෝලිම් දක්නට ලැබුණා.

ගෑස් පෝලිම් වල සිටින ජනතාව මෙසේ සඳහන් කළා,

"අපේ ළමයිගේ ඔන්ලයින් පන්ති සේරම නතර කරලා අපි මෙතන පෝලිමේ ඉන්නවා."

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 17 November 2021 13:14