March 29, 2024

තෙල් පෝලිමේ මිනීමැරුමේ ඇත්ත කතාව

නිට්ටඹු පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ආසන්නයේදී තියුණු ආයුධයකින් පුද්ගලයකුට පහර දී පළා ගිය ත්‍රීරෝද රථ රියදුරා නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු පලා ගිය ත්‍රිරෝද රථය ද සමඟයි.

ඉන්ධන ලබා ගැනීමේදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

නිට්ටඹුව හොරගොල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඉන්ධන පිරවුම් හල වෙත පෙරේදා රාත්‍රියේ යතුරු පැදි සහ ත්‍රීවීල් රථ ඉන්ධන ලබා ගැනීම සඳහා පෙට්රල් පෝලිම් වෙත එක්රොක් වී සිටි තිබෙනවා.

ඒ අවස්ථාවේ එතැනට පැමිණි ත්‍රීරෝද රථ රියැදුරකු පෝලිමට එක් නොවී ඉදිරියට පැමිණ සිය ත්‍රීවිලරයට පෙට්‍රල් ලබා ගැනීමට උත්සාහ දරා ඇති අතර ඒ අවස්ථාවේදී පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි යතුරපැදිකරුවකු ඊට උරණ වී ත්‍රීරෝද රථ රියදුරු සමග බහින්බස් වීමක් සිදු වී තිබෙනවා.

බහින් බස් වීමෙන් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරා ඉන්ධන පිරවුම්හලෙන් පිටව ගොස් තිබෙනවා.

පසුව සිය යතුරු පැදියට ඉන්ධන ලබා ගත් පුද්ගලයා ඉන්ධන පිරවුම්හල් පිටව කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමත් සමඟම මහමග ඔහු එනතුරු මග රැක සිටි ත්‍රීවිල් රියදුරු තම අත තිබූ පිහියෙන් යතුරුපැදිකරුට පහරදී පලාගොස් තිබෙනවා.

පිහි පහර එල්ල කිරීමත් සමග යතුරුපැදිකරු යතුරු පැදියෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර යතුරු පැදිය පෙරළී ගොස් තිබෙනවා.

පසුව ඒ අවට සිටි පිරිස තුවාලකරු වාහනයක දමාගෙන වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු ඊට පැයකට පසු මරණයට පත්වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශන ආරම්භ කළ නිට්ටඹුව පොලීසිය ඇඳුම් බෑගයක් ද රැගෙන ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකරු නිට්ටඹු ප්‍රදේශයට නුදුරුවදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තුවාන් තාජුඩීන් නමැති ධීවර කාර්මිකයෙක්.

ආයුධයෙන් පහර දුන් පුද්ගලයා එම තියුණු ආයුධය කත්තොට වෙල්යායට විසි කර තිබෙනවා.

නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව වෙල්යායට විසිකල ආයුධය සොයාගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)